April 25, 2024

බෑ කියූ ගම්මන්පිල හා කියයි

මෙට්‍රික්‌ ටොන් 10,000ක ඉන්ධන තොගයක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ලැබීම නිසා විදුලි කප්පාදුවක් සිදු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කළා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කියා සිටියේ, දිනකට මෙට්‍රික්‌ ටොන් 1500 බැගින් දින 8ක් සඳහා ඩීසල් මෙට්‍රික්‌ ටොන් 10,000ක් අද සිට විදුලි උත්පාදනය වෙනුවෙන් නිදහස් කරන බවයි.

මහබැංකුව ඊයේ ඩොලර් නිදහස් කිරීම හේතුවෙන් කොළඹ වරායට එපිටින් නැංගුරම්ලා තිබූ ඩීසල් මෙට්‍රික්‌ ටොන් 37,500ක් අඩංගු නෞකා දෙකක ඉන්ධන ගොඩබෑම මේ වන විට ආරම්භ වී තිබෙනවා.

එම ඩීසල් තොගයෙන් මෙට්‍රික්‌ ටොන් 10,000ක් විදුලි උත්පාදනයට වෙන් කළ බවයි අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සදහන් කළේ.

ඉන්ධන නොමැති වීම හේතුවෙන් ඊයේ කැලණිතිස්ස බලාගාරයේ මෙගාවොට් 280ක බලාගාර දෙකක් සහ සපුගස්කන්ද බලාගාරය ද අක්‍රිය වුණා.

මෙම තත්ත්වය මතු වූයේ නොරොච්චෝල බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අක්‍රිය වීමෙන් මෙගාවොට් 300ක් ජාතික විදුලිබල පද්ධතියට අහිමි වී ඇති පසුබිමක යි.

මේ අතර, විදුලිබල මණ්ඩලයේ නව සාමාන්‍යාධිකාරීවරයාට විරෝධය පළ කරමින් සැලසුම් කළ පරිදි අද පස්වරුවේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන බව විදුලි ඉංජිනේරු සංගමය ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, හදිසි බිද වැටීම් නිවැරදි කිරීමට මැදිහත් වන බවයි එම සංගමය සඳහන් කළේ.

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් දැඩි කරන්නේ ද යන්න පිළිබදව තීරණය කිරීම සඳහා ඉංජිනේරු සංගමයේ විධායක කමිටුව මේ වන විට රැස්වී තිබෙනවා.

Rate this item
(0 votes)