April 19, 2024

පොහොට්ටුවේ පෙති සෙලවෙයි - පසුපෙළ කණ්ඩායම දෙකට බෙදෙයි Featured

ආණ්ඩු බලය හොබවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ හටගෙන ඇති අර්බුදකාරී වාතාවරණයක් පිළිබඳව අභ්‍යන්තර දේශපාලනික ආරංචි මාර්ග ඔස්සේ ඒෂියන් මිරර් වෙත වාර්තා වෙනවා.

එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් අතර බෙදීමක් හටගෙන ඇති බව යි.

මන්ත්‍රී කණ්ඩායමෙහි එකඟතාවකින් තොරව විවිධාකාරයේ කටයුතු කිරීමට ඇතැම් මන්ත්‍රීවරු ක්‍රියා කිරීම මීට හේතුව වී ඇති බව සඳහන්.

මාධ්‍ය හමු

කණ්ඩායමේ අනුදැනුමකින් තොරව මන්ත්‍රීවරු කිහිපදෙනෙකු වෙනම මාධ්‍ය හමු පැවැත්වීම මේ සඳහා ප්‍රධානතම හේතුව වී තිබෙනවා.

මන්ත්‍රීවරු කිහිප දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවසක දී සති දෙකක පමණ කාලයක් තුළ පැවැත්වූ මෙම මාධ්‍ය හමු කිහිපය, ආණ්ඩු පක්ෂ පසුපෙළෙහි දැඩි විරෝධයකට ලක්ව ඇති බව යි.

කෙසේ වෙතත් අදාළ මාධ්‍ය හමු පැවැත්වීමට එම මන්ත්‍රීවරු ක්‍රියා කර ඇත්තේ ආණ්ඩුවේම ඉහළතම ප්‍රධානියෙකුගේ මෙහෙයවීම මත බව පුවත් ආරංචි මාර්ග අප වෙත සඳහන් කර සිටියා.

තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා ඇතුළු කිහිපදෙනෙකු පැවැත්වූ මාධ්‍ය හමුව සහ එහි දී ඉදිරිපත් වූ කරුණු ද පසුගිය දා දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි අවධානයක් ගනු ලැබුවා.

බුද්ධි අංශ කතාව

මේ අතර එම මාධ්‍ය හමුවේ දී පළ කෙරුණු අදහස් සම්බන්ධයෙන් ද ආණ්ඩු පක්ෂ පසුපෙළ විරෝධයකින් පසුවන බව ද වාර්තා වනවා.

සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය පිළිබඳව තිස්ස කුට්ටිආරච්චි මහතා අදහස් පළ කළේ, බුද්ධි අංශ වාර්තාවක් මත ජනාධිපතිවරයා විසින් එම ක්‍රියාව සිදු කළ බවට යි.

කුට්ටිආරච්චි මන්ත්‍රීවරයාගේ මෙම බුද්ධි අංශ කතාව ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධයටත් දෝෂදර්ශනයටත් ලක්ව ඇති බව වාර්තා වනවා.

 

මෙකී කරුණු මත පදනම්ව මේවන විට පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම අතර බෙදීමක් හටගෙන ඇති බව යි අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

 

Rate this item
(1 Vote)
Last modified on Sunday, 16 January 2022 07:32

Related items