March 28, 2024

කාදිනල් හිමිගේ ප්‍රකාශයට ආරක්ෂක ලේකම්ගෙන් ප්‍රතිචාර

කොළඹ ක්‍රිස්තියානි දේවස්ථානයක තිබී බෝම්බයක් හමුවීම සම්බන්ධයෙන් වන පරීක්ෂණ පොලිස්පතිවරයා ඉතාමත් නිසියාකාරව සිදුකරමින් යන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා පැවසුවා.

අද (15) පෙරවරුවේ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ.                                                            

ඕනෑම සිද්ධියක පරීක්ෂණ ක්ෂණිකව සිදු කළ නොහැකි බවත් ඒ සඳහා යම් කාලයක් අවශ්‍ය බවත් සඳහන් කළ ඒ මහතා කියා සිටියේ එම සිද්ධිය පරීක්ෂණ මේ වන විට නිසි පරිදි සිදුවන බවත් එම සිද්ධියට වගකිව යුත්තන් ඉතා ඉක්මනින් රටේ ජනතාවට දැනගත හැකි වන බවයි.                                                 

තවදුරටත් අදහස් පළ කළ ඒ මහතා කියා සිටියේ ගෞරවනීය කාදිනල්තුමන් පොලිස්පතිතුමන්ගේ කෝට් එක ගැලවීම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය අනුමත නොකරන බවත් පොලිස්පතිතුමන්ගේ කෝට් එක ගැලවීමේ අයිතියක් කාදිනල්තුමන්ට හෝ  කිසිවකුට හෝ නොමැති බවයි.

මාධ්‍යවේදියා - "බොරැල්ලේ ක්‍රිස්තියානි දෙවස්ථානයක අත්බෝම්බයක් හමුවීම සම්බන්ධයෙන් කාදිනල්තුමා දිගින් දිගටම චෝදනා කරනවා ?"

ආරක්ෂක ලේකම් -  "පරීක්ෂණයක් පැවැත්වෙනවා කියන්නේ පැය 2ක් 3ක් ඇතුලත අවසන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ සඳහා යම්කිසි කාලයක් අවශ්‍යයි. සිද්ධියක් වෙලා පැය 24ක් ඇතුලත ඒ සිද්ධිය ගැන විවේචනය එල්ල කළාට ඒක මං හිතන්නේ නෑ සාධාරණයි කියලා. අත්බෝම්බයක් හමුවෙලා තියෙනවා. ඒ බෝම්බය  එතනින් තියපු කෙනාව අපි අත්අඩංගුවට අරගෙන තියෙනවා. නමුත් ඒ මාර්ගයෙන් ගිහිල්ලා තව අත්අඩංගුවට ගැනීම් කිහිපයක්ම කරන්න තියෙනවා. ඒවා කරගෙන යනවා. පැය 2ක 3ක් ඇතුතල එහෙම නැතිනම් පැය 24ක් ඇතුලත මේ පරීක්ෂණ අවසන් කරලා අත්අඩංගුවට ගැනීම් සිදුකරන්න පුළුවන් නම් එක ප්‍රාතිහාර්යක් විය යුතුයි. මම ආරක්ෂක ලේකම් විදියට සහතියක් දෙනවා රටේ ජනතාවට මේ සම්බන්ධයෙන් සියලුම පුද්ගලයින් නීතියේ රැහැනට ගෙනවා කියලා." 

මාධ්‍යවේදියා - "කාදිනල්තුමා චෝදනා කරනවා උදේ සිට CCTV දර්ශන නරඹන්නේ නැතුව මේ පුද්ගලයා ආරක්ෂා කරන්නද හවස 3න් පස්සේ CCTV දර්ශන නරඹන්නේ කියලා ?"

ආරක්ෂක ලේකම් - "මම හමුදා නිලධාරියෙක්. මම දන්නවා යුද්ධ කරන්න. නමුත් ඔය වගේ විමර්ශන දේවල් කරන්න මට තියෙනවාට වඩා දැනුමක් රහස් පොලීසියට තියෙනවා. කාදිනල් වහන්සේ එහෙම ප්‍රකාශ කළාට, උන්හන්සේ හිතනවාට වඩා දුර හිතලා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න රහස් පොලීසියටත්, පොලීසියටත් හැකියාව තියෙනවා. ඒ අයට පරීක්ෂණ කරන විදිය උගන්නන්නේවත් ඒ පරීක්ෂණ කරන විදිය විවේචනය කරන්නෙවත් නැතුව පොඩ්ඩක් ඒ පරීක්ෂණ කරන්න ඉඩ දෙන්න. තව දවස් කිහිපයක් යනකොට විස්තර මහජනතාවට දැනගන්න පුළුවන් වෙයි. ඒ වගේම කාදිනල් උන්නාන්සේටත් දැන ගන්න පුළුවන් වෙයි." 

මාධ්‍යවේදියා - "ඒ වගේම පොලිස්පතිට බැරිනම් කෝට් එක ගලවලා යන්න කිව්වා. ඔබතුමා ඒ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරනවාද ?"

ආරක්ෂක ලේකම් - "කාදිනල් හිමියන්ට මගේ තියෙන ගෞරවය නිසා. මොකද උන්වහන්සේ නෙමෙයි පොලිස්පතිතුමාට කෝට් එක දුන්නේ. මම දන්නේ නෑ කාදිනල් හිමියන්ට අයිතියක් තියෙනවාද කියන්න පොලිස්පතිතුමාගේ කෝට් එක ගලවලා යන්න කියන්න. නමුත් එක උන්වහන්සේගේ අදහස වෙන්න පුළුවන්. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. පොලිස්පතිතුමා නම් ඔය කිව්ව පමණින් කෝට් එක ගලවලා යන එකක් නෑ. නමුත් පොලිස්පතිතුමා මේ සම්බන්ධයෙන් පරීක්ෂණ නිසි පරිදි මෙහෙයවනවා කියන එක මම ආරක්ෂක ලේකම්වරයා හැටියට දන්නවා."

(මහනුවර  කේ.එල්. සුරවීර)                          

Rate this item
(0 votes)