March 29, 2024

හින්දු බැතිමතුන් සෞඛ්‍යයට මුල් තැන දෙමින් තෛපොංගල් සමරයි (PHOTOS)

හින්දු ජනතාවගේ වාර්ෂික ප්‍රධාන ආගමික උත්සවයක් වන තෛපොංගල් දින උත්සවය අද (14) දිනට යෙදි තිබෙනවා.

අද (14) දිනට යෙදී ඇති එම තෛපොංගල් දිනය වතුකරයේ ජනතාව ආගමික වතාවන් වලට මුල්තැන දෙමින් උත්කර්ෂවත් අන්දමින් සමරමින් සිටින බව අප වාර්තාකරු සඳහන් කළා.

තෛපොංගල් දින ආගමික උත්සවයේ වතුකරයේ ප්‍රධාන ආගමික පුජාව හැටන් ශ්‍රි මාණික්‍ය පිල්ලයාර් හින්දු කෝවිලේදි එම කෝවිලේ ප්‍රධාන කුරුක්කල් බ්‍රහ්ම ශ්‍රි චන්ද්‍ර නන්ද කුරුක්කල්ගේ ප්‍රධානත්වයෙන් නිරෝධායන මාර්ග උපදෙස් වලට අනුකුලව පැවැත්වුණා.

එම කෝවිලේදි සියළුම ධාන්‍ය වර්ගවලින් සමන්විත විශේෂ කිරි බතක් පිලියෙල කර එම කිරි බත සුර්ය රාජයාට පුජා කිරිමෙන් අනතුරුවයි එම කොවිලේදි තෛපොංගල් දින ප්‍රධාන ආගමික උත්සවය පැවැත්වුණේ.

වතුකරයේ ජනතාව තම නිවස ඉදිරිපිට අලුතින් ලිප් බැද ලිප ගිනි මොලවා ධාන්‍ය වර්ග වලින් සමන්විත විශේෂ කිරිබතක් සකස් කර හිරු උදාවත් සමග පිලියෙල කර ගන්නා ලද කිරිබත හින්දු චාරිත්‍රානුකුලව සුර්ය රාජයාට පුජා කරනවා.

ගොවිතැනේදි ගොවියාට සක්‍රිය දායකත්වයක් දක්වන සුර්යයාට පළමු දිනයේ තෛපොංගල් උපහාරය දක්වා දෙවන දිනය වන දින (15) ගොවිතැනේදි ගොවියන්ට  දායකත්වයක් දක්වන ගවයන්ට උපහාර පිදිම සිදු කරනු ලබනවා.

තෛපොංගල් උදාවේ උදෑසනම හින්දු බැතිමතුන් විසින් උක් ගසින් වට වූ මණ්ඩපයක කිරි උතුරවා අලුත් සහල් වලින් උක් සකුරු හා පළතුරු වලින් සාදා ගන්නා ලද ප්‍රණීත කිරිබත් සාදා මල් පහන් දල්වා හිරු දෙවියන් හට සිදු කරන ලද සූර්ය දේව විශේෂ පූජාවක් සිදු කරනු ලැබූ අතර එම පූජාවෙන් ඔවුන්ගේ ප්‍රධාන බලාපොරොත්තුව වන්නේ මේ වසරේද තම කෙත් වතු සරු සාර වේවා යන සිතුවිල්ලයි.

නමුත් මේ වසරේ (2022) මෙන්ම පසුගිය වසර අවසානයේ ගොවීන්ට ඇති වූ පොහොර ගැටලුව කොරෝනා අවධානම ඇතුළු විවිධ ගැටලු හේතුවෙන් සාර්ථක වී අස්වැන්නක් නොලැබීම මත තෛපොංගල් සැමරුම සරු නොවන බවටත් ඉතා චාමෙට සමරන අතරම මෙවර මහකන්නයේ වී අස්වැන්නෙන්ද සාර්ථක වී අස්වැන්නක් බලාපොරොත්තු වීමට නොහැකි බවට උතුරේ වැසියන් පවසනවා.

 

(හැටන් - රංජිත් රාජපක්ෂ / වන්නි - රොමේෂ් මධුසංක)

Rate this item
(0 votes)
Last modified on Friday, 14 January 2022 12:24