March 29, 2024

මෛත්‍රීට වෙන දේ ගැන පොහොට්ටුවෙන් අනතුරු ඇඟවීමක්! ශ්‍රීලනිපය 4ට කැඩිලා

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ක්‍රියාකලාපය ගැන කණගාටුවක් දැනෙන බව විදේශ අමාත්‍යංශය මාධ්‍ය ලේකම් බුද්ධික වික්‍රමාදර මහතා පවසනවා.

ජනාධිපති මුක්තිය නොතිබුනා නම් මේ වනවිට හිටපු ජනාධිපතිවරයා ඉන්නෙත් හිටපු පොලිස්පතිතුමත්, හිටපු ආරක්ෂක ලේකම්තුමත් ඉන්න තැන බවයි වික්‍රමාදර මහතා පෙන්වා දෙන්නේ.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (13) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී වික්‍රමාදර මහතා මෙසේද සඳහන් කළා.

"මං ආරම්භ කරන්නම් අපේ රංජිත් බණ්ඩාර මැතිතුමා කියපු කතාවෙන්,ඊයේ පෙරේදා දවසකදි අපේ නායකතුමන්, මහින්ද රාජපක්ෂ අග‍්‍රාමාත්‍යතුමන් කියනවා කතාවක්, ”පහුගිය අවුරුදු දෙක ගැන කෑගහන අයට කෑගහන්න දෙන්න ඉස්සරහ අවුරුදු තුන මේ රට සංවර්ධනය කරලා ස්වයංපෝෂිත කරන්න අපි සූදානම්.” ලෝක වසංගතයක් එක්ක ලෝකයේ තුන්වැනි තැනට එන්නත්කරණයෙන් විතරක් නෙවෙයි මිනිස්සුන් පරෙස්සම කරගැනීම කියන කතාවෙනුත් අපි ඉස්සරහට ආවා කියන එක මුළු ලෝකෙම දන්න කතාවක්. බැසිල් රෝහණ රාජපක්ෂ මුදල් අමාත්‍යතුමත්, මහාචාර්ය රංජිත් බණ්ඩාර මැතිතුමා ඇතුළු කණ්ඩායමත් අපිට අයවැය හා මේ ආර්ථික ගමන පිළිබඳව පැහැදිලි කරලා දුන්නා. ඒ පැහැදිලි කරලා දෙන කණ්ඩායමේ උගත් විද්වත් පිරිසක් හිටියා කියන එක අපි දැක්කා.

මේ අවුරුදු දෙක මොකද වුනේ

ඒ වගේම තමයි මේ අවුරුදු දෙක අපිට මොකද වුනේ, ඉස්සරහ අවුරුදු දෙක අපි මොනවද කරන්නේ කියන එක පැහැදිලි කරලා ජනතාවට පසක් කරලා දීපු කාරණාවෙදි අපි මතක් කරන්න කැමතියි එන්නත්කරණය සම්බන්ධයෙන්, එය සම්පූර්ණ කරලා තියෙනවා කියලා මුළු ලෝකෙම කතා කරනවා. ඒ වගේම තමයි සහන මණ්ඩල සම්බන්ධයෙන්, දැන් දිගින් දිගට ක‍්‍රියාත්මක වෙමින් පවතිනවා. හෙට අනිද්දා ඉන් අනිද්දා හා දැන් ලබන 28,29 කියන දිනවලදී දකුණු ප‍්‍රදේශයේත්, උතුරු ප‍්‍රදේශයේත් මේ කාරණාවල් ටික සිද්ධ කරනවා. මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමත් මේකට සහභාගී වන නිසා මා ඒ පිළිබඳව හොඳින්ම දන්නවා. ඒ වගේම වරාය නගරය සම්බන්ධයෙන් කතාබහ කරා. ආයෝජන ලැබීම සම්බන්ධයෙන් හා වරාය නගරය කොහොමද ඉස්සරට ජනතාවත් එක්ක කටයුතු කරන්නේ මේ රටේ සංවර්ධනයට දායක වෙන්නේ කියන එක. නැගෙනහිර ජැටිය ආරම්භ කරා. ඒක විතරක් නෙවේ ඒක කොහොමද ලෝකයේ හොඳම වරායන් 25 අතරට එන්නේ කියන කාරණාව රංජිත් බණ්ඩාර මැතිතුමන් කිව්වා. අධිවේගී මාර්ග අනිද්දට විවෘත කරනවා. 

මෛත්‍රී ගැන කණගාටුවක්

අපිට හරි කණගාටුවක් දැනෙනවා හිටපු ජනාධිපතිතුමන්ගේ ක‍්‍රියාකලාපයන් ගැන. හිටපු ගමන් හීනෙන් නැගිට්ටා වගේ අපේ හිටපු ජනාධිපතිතුමා කාලෙන් කාලෙට හරි අපූරු කාරණාවල් සිද්ධකරනවා. ජනාධිපති මුක්තිය නොතිබුනා නම් මේ වනවිට එතුමත් ඉන්නේ හිටපු පොලිස්පතිතුමත්, හිටපු ආරක්ෂක ලේකම් තුමත් දැන් ඉන්න තැනම තමයි. නමුත් සියලූ වරදවල් අනෙකා පිට පටවලා තමන්ට කරගන්න බැරි වුන දේ අනෙකා පිට පටවලා දිගින් දිගට දැන් නැවත වතාවක් වෙන වෙන අපි කතාවට කියනවා බයිලා ගහනවා කියලා, මේ කතාවක් සිද්ධ කරන්න හදනවා. එතුමාගේ දේශපාලනය සම්බන්ධයෙන් අපට කිසිම විවේචනයක් නැහැ. විරෝධතාවයකුත් නැහැ. ඒක එතුමාගේ අයිතිය. හැබැයි එතුමා මේ කරන ක‍්‍රියාකලාපය පිළිබඳ අපිට පොඩි දුකක් තියෙනවා. හේතුව තමයි, පොළොන්නරුවේ විතරක් නෙවෙයි හැමතැනම එතුමා ගෙයක් ගෙයක් ගානේ ගිහිල්ලා පොහොට්ටුවට ඡන්දය දෙන්නයි කියලා එතුමා පාරේ ඇවිද්දේ. පොහොට්ටුවට ඡන්දෙ දෙන්න කියලා, පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලලා තමා එතුමා ඇතුලට ආවේ. දැන් එතුමා ඉඳගෙන කියනවා”අනේ මං දන්නේ නෑ” මේක හතරබීරි කතාවක්.

ශ්‍රීලනිපයේ ඉරණම

අපි දන්නවා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් කොටස් හතරකට පහකට කැඩිලා තියෙන්නේ. චන්ද්‍රිකා මැතිණියගේ පිළ වෙනම ඉන්නවා, කුමාර වෙල්ගම ඇතුළු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලාරම්භකයන්ගේ පිළ වෙනම ඉන්නවා. ඒ වගේම තමඉ මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමාගේ කණ්ඩායමක් වෙනම ඉන්නවා. එතුමා තමා මේකේ නායකයා කියලා කටයුතු කරන කණ්ඩායමක් වෙනම ඉන්නවා. ආණ්ඩුවත් එක්ක ඉඳගෙන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නිවැරදි මඟ යන්න ඕනේ, හැබැයි මේ ආණ්ඩුව ගෙනයන වැඩපිළිවෙල හරි කියන කණ්ඩායම වෙනම ඉන්නවා. මේ විදියට කණ්ඩායම් කිහිපයකට මේක කැඩිලා තියෙනවා. මේ තොරතුරු අතරේ මේ සියලූ භේදන අතරේ හිටපු ජනාධිපතිතුමා බොරදීයේ මාළු බාන්න පුළුවන් කියලා විශ්වාස කරන් ඉන්නවා, හැබැයි අපි දැක්කා එතුමා තනිවම ඉල්ලූව සියලූ ආසන පරාදයි එතුමා තනියෙන් ඡන්දයකට ගිය සියලූ දේවල් පරාදයි. ඒ එක දෙක නෙවේ, තුන හතරට වඩා පල්ලේහාට ගියා කියන එක අපි හොඳින්ම දැක්කා. ඒ නිසා මෙන්න මෙහෙම තත්ත්වයක් තමා අද වනවිට වෙලා තියෙන්නේ." යැයි බුද්ධික වික්‍රමාදර මහතා වැඩිදුරටත් පැවසුවා.

Rate this item
(0 votes)