April 25, 2024

"මමත් ලැජ්ජා වුණා" - විමල්ගෙන් ප්‍රකාශයක්

කර්මාන්ත අමාත්‍යවරයා ලෙස තමා ලැජ්ජාවට පත් වූ බව විමල් වීරවංශ මහතා පැවසුවා.

ඒ තම අමාත්‍යංශයේ සින්ක් එක 'මේඩ් ඉන් ටර්කි' යනුවෙන් පැවතීම නිසා බවද සඳහන් කළා.

අවම වශයෙන් කර්මාන්ත අමාත්‍යාංශය තුළ සවි කරන මෙවලමක්වත් 'මේඩ් ඉන් ශ්‍රී ලංකා' විය යුතු බවයි අමාත්‍යවරයා අවධාරණය කලේ.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කලේ ඊයේ (12) "CNCI Achievers Awards 2021 for Industrial Excellence" උළෙලෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් පැවැත්වූ දේශනයේදීයි.

එහිදී අමාත්‍යවරයා මෙසේද සඳහන් කළා,

"විවෘත ආර්ථිකයේ මුල එදා ණය අරගෙන ජීවත් වෙද්දී, අලුතෙන් මධ්‍යම පන්තියක් හැදෙනකොට, අලුතෙන් ජීවන රටාවක් එනකොට, මේ රටේ දෙයක් පරිභෝජනය කරනවාට වඩා වෙන රටක නිෂ්පාදනය කරනු ලැබූ දෙයක් පරිභෝජනය කරන තැනට අප පත්ව තිබෙනවා. මම මේ දේ මෙතෙක් අපේ අමාත්‍යාංශ ලේකම්තුමාටවත් පවසා නැහැ. එය මෙරට කර්මාන්ත අමාත්‍යවරයා ලෙස මා ලැජ්ජාවට පත්වූ අවස්ථාවක්. අපේ අමාත්‍යාංශයේ එක කොටසක පොඩි නවීකරණයක් කළාට පසුව මම අත සේදීමට ගොස් 'සින්ක් එක' දෙස බලනකොට දුටුවා එහි ගහලා තිබෙනවා 'මේඩ් ඉන් ටර්කි' කියා. අඩුම තරමින් කර්මාන්ත අමාත්‍යාංශය තුළ සවි කරන මෙවලමක්වත් 'මේඩ් ඉන් ශ්‍රී ලංකා' විය යුතුයි නේද? අපි එතැනදී ඒ ගැන සැලකිලිමත් වී නැහැ. මා කර්මාන්ත අමාත්‍යාංශය භාර ගත් මුල් කාලයේ අමුත්තන් පිරිසකට සංග්‍රහ කිරීමට විදේශයක නිෂ්පාදිත බීම වර්ගයක් යොදා ගත් අවස්ථාවක් මගේ මතකයට එනවා. කර්මාන්ත අමාත්‍යාංශයවත් 'මේඩ් ඉන් ශ්‍රී ලංකා' ක්‍රියාන්විතය බලගැන්වීමේ මානසිකත්වයෙන් යුක්ත නොවුණොත් දේශීය කර්මාන්තයන්හි දියුණුවක් සිදු වීමට බැහැ."

Rate this item
(0 votes)