April 24, 2024

රංගජීව නිදහස්! රංජන්ට මරණ දඬුවම හිමිවෙයි!

වැලිකඩ බන්ධනාගාරයේ හිටපු අධිකාරීවරයා වූ එමිල් රංජන් ළමාහේවා මහතාට අද (12) මරණ දඬුවම නියම වූවා.

ඒ 2012 වසරේ නොවැම්බර් 09 වැනි දින වැලිකඩ බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය අතරතුර මියගිය රැඳවියන් අතුරින් 08 දෙනෙකුගේ ඝාතන සම්බන්ධයෙන්.

ළමාහේවා මහතාට මෙම දඬුවම නියම වූයේ ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න මහත්වරුන්ගෙන් යුතු ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් එම සිද්ධියට අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමත් සමග යි.

තීන්දුව ලබා දෙමින් එම විනිසුරු මඬුල්ල නියෝග කළේ සෙසු විත්තිකරුවන ප්‍රධාන පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව නිදොස් කොට නිදහස් කරන ලෙස යි.

අදාළ ගැටුම අතරතුර රැඳවියන් 08 දෙනෙකු ඝාතනය කිරීම, ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම, නීති විරෝධී ජන ඒකරාශිය ඇතුළු චෝදනා 33ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා තිබුණේ නීතිපතිවරයා විසින්.

එමිල් රංජන් ළමාහේවා මහතා චෝදනා 4 කින් නිදහස් ලැබූ නමුත් මරණ දඬුවම හිමි වූයේ එක් චෝදනාවකට වරදකරු බවට පත් වීමත් සමග යි.

මෙම නඩුවේ තීන්දුව පසුගිය 06 වැනි දා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබූ නමුත් එය අද දක්වා කල් ගියේ මුද්‍රණ දෝශ සැකසීමට කාලය අවශ්‍ය බව පවසමින්.

කෙසේ වෙතත් අදාළ සිදුවීමෙන් වසර 09කට පසු ඒ සම්බන්ධ තීන්දුව අද කොළඹ මහාධිකරණයේ දී ප්‍රකාශයට පත් වූවා.

මෙම සිදුවීම එවකට මහත් ආන්දෝලනයකට තුඩු දුන් අතර පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදු කළ සෝදිසි මෙහෙයුමක් අතරතුර මෙම නොසන්සුන්තාව හටගත්තා.

සිද්ධියෙන් මියගිය මුළු රැඳවියන් ගණන 27ක්.

එමෙන්ම එවකට පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරියා ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් ද සිද්ධියෙන් තුවාළ ලැබුවා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 13 January 2022 12:12