April 24, 2024

මේ විදිහට ආණ්ඩුවෙන් එළියට යන්න : ඇමති නාමල්ගෙන් මෛත්‍රිපාලට පණිවිඩයක්

ආණ්ඩුව ගත් සෑම තීරණයකටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වගකිව යුතු බවයි නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ.

මේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය තුළත් රාජ්‍ය අමාත්‍යධුර තුළත් ශ්‍රීලනිපය නියෝජිතයින් සිටින බව මතක් කරන නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා මේ තීරණ වලට අපි නැහැ කියමින් වගකීමෙන් මිදීමට එම පක්ෂයට නොහැකි බවත් අවධාරණය කරනවා.

එළියට යන හැටි

කැබිනට් මණ්ඩලයක් තුළ ආණ්ඩුවක් තුළ සාමූහික වගකීමක් තිබෙන බව පෙන්වා දෙන ඔහු මේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ගැළපෙන්නෙ නැත්නම් ඒවා තැන් තැන්වල නොකියා පොදු ජන පෙරමුණ පක්ෂ නායක රැස්වීමකදී ප්‍රකාශකොට ශ්‍රී.ල.නි.ප යට ආණ්ඩුවෙන් ඉවත් වීමට හැකි බව සඳහන් කරනවා.

ප්‍රශ්න තැන තැන කියා ජනතාව අපහසුතාවයට පත් නොකර ඒ ආකාරයට ගෞරවාන්විතව ආණ්ඩුවෙන් එළියට යෑම වඩාත් සුදුසු ක්‍රමවේදයේ බවටයි රාජපක්ෂ අමාත්‍යවරයා ශ්‍රී.ල.නි.ප යට යෝජනා කරන්නේ.

පුද්ගලික ප්‍රතිපත්ති

ජනතාව ඡන්දය දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේවත් , මෛත්‍රීපාල සිරිසේන මහතාගේවත් , තමාගේවත් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට නොව සෞභාග්‍ය දැක්මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

ඒ නිසා දැන් කළ යුතුව තිබෙන්නේ එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම මිස එකිනෙකාගේ පෞද්ගලික කෝන්තර විසඳීම නොවන බවයි ඔහුගේ මතය වන්නේ.

ජනතාව ජනවරමක්දී මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුවට එවන්නේ පෞද්ගලික කෝන්තර පිරිමසා ගැනීමට කියා කෙනෙක් සිතනවා නම් ඒ වැරදි බව නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ශ්‍රී.ල.නි.පය මේ වන විට ආණ්ඩුවට එරෙහිව ගෙන යන විවේචනාත්මක වැඩ පිළිවෙළ සම්බන්ධයෙන් මාධ්‍ය අමතායි.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 12 January 2022 19:33