April 19, 2024

කුණු ලූණු හොඳ ලූණුවලට කලවම් කිරීමේ ජාවාරමක් හෙළි වෙයි (PHOTOS)

ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වූ ලොකු ලූණු කිලෝග්‍රෑම් 5000කට අධික තොගයක් දඹුල්ල මහ නගර සභාව විසින් සිදු කරන ලද සෝදිසි කිරීමකදී සොයා ගෙන තිබෙනවා.

ඒ දඹුල්ල - ඉබ්බන්කටුව ප්‍රදේශයෙන්.

මෙම මහා පරිමාණයෙන් පවත්වාගෙන යන ලොකු ලූණු ගබඩාව ජනාවාසයෙන් තොර වූ පෙදෙසක පිහිටා ඇති අතර, එහි විදේශ රටවලින් ආනයනය කරන ලද මිනිස් පරිභෝජනයට නුසුදුසු ලොකු ලූණු තොගයක් බවටයි හඳුනාගෙන ඇත්තේ.

එහි කාන්තාවන් යොදවා නරක් වූ ලොකු ලූණු සමග පරිභෝජනයට සුදුසු ලූණු කලවම් කරවීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවටයි තොරතුරු ලැබී ඇත්තේ.

ඒ අනුවයි දඹුල්ල මහ නගර සභාව, මහජන සෞඛ්‍ය පරීක්ෂවකරුන් සමග අදාළ තොග ගබඩාව වැටලීමට පියවර ගෙන ඇත්තේ.

මෙම ගබඩාව ඉතාමත් සුක්ෂම අයුරින් සම්පූර්ණයෙන්ම පිටතට නොපෙනෙන පරිදි ආවරණය කර ගේට්ටු දමා වසා දමා තිබී ඇති අතර, සෞඛ්‍ය අංශවල නියමයෙන් අදාළ ස්ථානයේ සේවකයින් කැඳවා ගබඩාවට ඇතුලු වීමේදී දැකගත හැකිව ඇත්තේ, එහි නුසුදුසු ලූණු කලවම් කිරීමේ ජාවාරමේ නියැලෙන කාන්තාවන් පිරිසක්.

මෙම නුසුදුසු ලූණු තොගය විදුලි පංකා භාවිත කරමින් වේළා ගැනීමේ අයුරු ද මෙම අවස්ථාවේ දී වැටලීම සිදු කළ නිලධාරින්ට දැකගත හැකි වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සිදු කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ, මෙම ලූණු තොගය දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටා ඇති අතරමැදි වෙළෙන්දෙකුට අයත් බවයි.

කෙසේවෙතත් සේවකයින්ගෙන් සිදු කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරු මත මෙම මිනිස් පරිභෝජනයට නුසුදුසු ලූණු තොගය වෙළෙඳපොලට ගෙන ගොස් පාරිභෝගිකයින්ට අලෙවි කිරීමට කටයුතු කරන බව ද හෙළි ව තිබෙනවා.

ඒ අනුව අදාළ නුසුදුසු ලූණු තොගය නගර සභාවේ කසල අංගනයට ගෙන ගොස් විනාශ කිරීමට පියවර ගන්නා ලෙසට නියෝග කෙරුණු අතර, සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල මහනගර සභාව සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරින් විසින් වාර්තාවක් ද කැඳවීමට නියමිතයි.

(දඹුල්ල - කාංචන කුමාර ආරියදාස)

Rate this item
(0 votes)
Last modified on Tuesday, 11 January 2022 20:40