April 20, 2024

පුංචි ඡන්දෙ වසරකින් කල් දමයි - සභිකයින්ගේ ධුර කාලයත් දිගුවෙයි

පළාත් පාලන ඡන්ද විමසීම තවත් වසරකින් කල් දැමීමට රජය ඊයේ (10) තීරණය කර තිබෙනවා.

ඒ, අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් පළාත් පාලන ආයතන 340ක සභිකයන්ගේ ධුර කාලය 2023 වසරේ මාර්තු 19 වන දා දක්වා දීර්ඝ කරමින් ඊට මහ නගර සභා 24ක්, නගර සභා 41ක් සහ ප්‍රාදේශීය සභා 275ක් ඇතුළත්.

නගර සභා ආඥා පනත, මහ නගර සභා ආඥා පනත සහ ප්‍රාදේශීය සභා පනතේ වගන්තිවලින් පැවරී ඇති බලතල අනුව අදාළ දීර්ඝ කිරීම සිදුකර ඇත්තේ රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින්.

අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට පෙර රොෂාන් රණසිංහ රාජ්‍ය අමාත්‍යවරයාගේ විෂය පථයට අයත්ව තිබූ පළාත් සභා හා පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ පනත සහ ආඥා පනත ඉන් ඉවත් කෙරුණා.

පසුව එය රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතට පත් කරමින් ගැසට් නිවේදනයක් ද නිකුත් කිරීමටයි පියවර ගෙන තිබුණේ.

එලෙස රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගෙන් පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය පනත සහ ආඥා පනත ඉවත් කෙරුණේ ඔහු මේ වන විට දිවයිනේ නොමැතිවීම හේතු කරගෙනයි.

මැතිවරණය කල් දැමීමට නම් අදාළ විෂය භාර අමාත්‍යවරයා විසින් ගැසට් නිවේදනය නිකුත් කළ යුතු වනවා.

ඒ අනුව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ විෂය පථය රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතට පත් කෙරුණා. 

ඉන් අනතුරුවයි එම විෂය භාරව සිටි අමාත්‍යවරයා වූ ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් ඊයේ (10) මැතිවරණය වසරකින් කල් දමමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවේ.

එසේම පසුගිය දා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කෙරුණු සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ රාජ්‍ය අමාත්‍ය ධුරයට අයත් විෂය පථයන් ද වෙනත් අමාත්‍යාංශ යටතට පත් කර තිබෙනවා.

ඒ අනුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ තිබූ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව සහ ජාතික අධ්‍යාපන කොමිෂන් සභා පනත අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ඇතුළත් කර තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 11 January 2022 13:22