March 29, 2024

සජිත්ගේ තනතුර ගැලවෙන ලකුණු! විපක්ෂ නායක වෙන්න මෛත්‍රී සහ රනිල් සටනක!

අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම

මෙරට ප්‍රධාන විපක්ෂයවන සමගි ජන බලවේගය තුළ අභ්‍යන්තර අර්බුධයක් හටගෙන ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

අදාළ අර්බුධ හමුවේ එම පක්ෂය කොටස්වලට කැඩී යා හැකි බවට යි දේශපාලන කරළියේ කතාබහට ලක්වන්නේ.

මෙම වාතාවරණය තුළ මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් කල දුටු කල වළ ඉහ ගැනීමේ බලාපොරොත්තුවක සිටින බව සඳහන්.

ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය යි.

නිදහස් පක්ෂය

සමගි ජන බලවේගය සතුව ඇති විපක්ෂ නායක ධූරය සියතට ගැනීම සඳහා මෙම පක්ෂ දෙකම උත්සහ දරමින් සිටින බව යි වාර්තා වන්නේ.

ඒ අනුව සමගි ජන බලවේගය තුළ සිටින නමුත් එම පක්ෂය පිළිබඳ කලකිරුණු පිරිසක් සහ ආණ්ඩුව තුළ සිටින නමුත් ආණ්ඩුව පිළිබඳ කලකිරුණු පිරිසක් එකතු කරගෙන විපක්ෂයේ වාඩි වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැළසුම් සකස් කරන බව සඳහන්.

එම කාර්යයෙන් විපක්ෂ නායක ධූරය තමන්ට හිමිකරගැනීමට හැකි වෙතැයි ඔවුන් බලාපොරොත්තුවන බව පැවසෙනවා.

එජාපය

නිදහස් පක්ෂයේ සැළසුම එසේ වෙද්දී එක්සත් ජාතික පක්ෂය තුළ ඇත්තේ ද ඊට සමාන සැළසුමක් බව යි වාර්තා වන්නේ.

සමගි ජන බලවේගයේ කළකිරුණු පිරිස සහ ආණ්ඩුවේ කළකිරුණු පිරිස සිය පක්ෂයට එකතු කරගැනීමට යි ඔවුන් ද බලාපොරොත්තුවන්නේ.

කෙසේ වෙතත් එම පිරිසට අමතරව දෙමළ ජාතික සන්ධානයේ සහය ද ලබා ගැනීමට එක්සත් ජාතික පක්ෂය බලාපොරොත්තුවන බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

සාකච්ඡා

මේවන විට ආණ්ඩුව තුළ සිටින කලකිරුණු මන්ත්‍රීවරු කිහිපදෙනෙකු සමග නිදහස් පක්ෂය සාකච්ඡා වට කිහිපයක් ද පවත්වා ඇති බව සඳහන්.

ඒ අතර කාලයක් තිස්සේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු කිහිපදෙනෙකු ද සිටින බව යි වාර්තා වන්නේ.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂය ද සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙකු සමග සාකච්ඡා පවත්වා ඇති බව පුවත් ආරංචි මාර්ග පවසනවා.

සජබේ අවුල

සමගි ජන බලවේගයේ කළමනාකරණ කමිටු රැස්වීම් දී එම පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ පක්ෂයේ සිටින හිටපු මන්ත්‍රීවරුන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විරෝධය පළ කොට ඇති බව වාර්තා වෙනවා.

ඒ පක්ෂයට නිසි වැඩපිළිවෙලක් නොමැති බව පවසමින්.

මෙලෙස විරෝධය පළ කළ පිරිස අතර සරත් ෆොන්සේකා, හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, කබීර් හෂීම්, අජිත් පී. පෙරේරා වැන්නවුන් සිටින බව සඳහන්.

හන්දි හන්දි ගාණේ ගොස් පිළිතුරු දීමෙන් පළක් නොමැති බවත් පක්ෂය තුළ නිසි වැඩපිළිවෙලක් දියත් කළ යුතු බවත් ඔවුන් මෙහි දී පෙන්වා දී තිබෙනවා.

ඔවුන් මෙම ප්‍රකාශය සිදු කොට ඇත්තේ සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විවිධ ස්ථානවලට යාමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් සිටියදී වීම විශේෂත්වයක්.

අනතුරු ඇඟවීමක්

මේ අතර මන්ත්‍රීවරු සජිත් ප්‍රේමදාස මහතා වෙත වැඩිදුරටත් අනතුරු අඟවා ඇත්තේ පක්ෂය තුළ නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකළ හොත් මන්ත්‍රීවරු විකල්ප ක්‍රියාමාර්ග ගත හැකි බව යි.

එම අවස්ථාවේ දී සජිත් ප්‍රේමදාස මහතා කිසිදු පිළිතුරක් ලබා දී නැහැ.

කෙසේ වෙතත්  පක්ෂයේ මාධ්‍ය කමිටු රැස්වීමේ දී තීරණය කොට ඇත්තේ පක්ෂය තුළ අර්බුධයක් නිර්මාණය කිරීමට උත්සහ දරන මන්ත්‍රීවරු සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කළ යුතු බවට යි.

පක්ෂයේ ඇති අභ්‍යන්තර අර්බුධ මාධ්‍ය වෙත ලබා දීම නොසුදුසු බව ද මෙහි දී ප්‍රකාශ වී තිබෙනවා.

ජන දුක වෙනුවට බලය

ශ්‍රී ලංකාවට බලපා ඇති ආර්ථික අර්බුධය මේවන විට උග්‍රතම අවස්ථාවකට පත්ව ඇති බව රහසක් නොවේ.

ජීවන වියදම දිනෙන් දින උග්‍ර වෙමින් පවතින අතර අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල වැඩි වීම පමණක් නොව ඒවා වෙළඳපොළේ හිඟ වීම ද දැඩි ගැටළුවක් බවට පත්ව තිබෙනවා.

ජනතාව දැඩි පීඩනයක සිටින මොහොතක මෙරට දේශපාලන නායකයින් ඉහත කී අයුරින් සිය කඳවුරුවල බලය රැක ගැනීම ගැන උනන්දු වීම සැබැවින්ම අවාසනාවට කරුණක්.

අතීතයේ සිටම සිදු වූ දෙය ද මෙය වීම, මෙරට මෙතරම් අර්බුධයකට ලක් වීමට එක් ප්‍රබල හේතුවක්.

එමෙන්ම එදිනෙදා පෝලිම්වල සිටින ජනතාව පාර්ලිමේන්තුව නියෝජනය කරන 225 දෙනාටම සාප කරන්නේ ද ඔවුන් ජනතාව ගැන නොව තමන් සහ දේශපාලන බලය ගැන පමණක් සිතන නිසා යි.

Rate this item
(0 votes)
Last modified on Monday, 10 January 2022 18:32

Related items