April 19, 2024

පාස්කු ප්‍රහාරයේ නඩුව: මෛත්‍රීගේ ඉල්ලීම අධිකරණය ඉවත දමයි

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් පිරිසක් පැවරූ වන්දි නඩුව නිෂ්ප්‍රභ කරන්නැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෝසමක් මගින් කළ ඉල්ලීම කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් මියගිය අය වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන්, සදාකාලිකව ආබාධිත වූවන් හා තුවාල ලැබූවන් විසින් තමන්ට වන්දි අයකර දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන නඩු විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කර තමන්ව එම චෝදනාවලින් නිදහස් කරන ලෙසයි හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අධිකරණයෙන් එම ඉල්ලීම කර තිබුණා.

එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ අතිරේක දිසා විනිසුරු චතුරිකා ද සිල්වා මහත්මිය තීන්දු කළා.

ඉකුත් දා මෝසමක් ගොනු කරමින් මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වු ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා කියා සිටියේ එම නඩු සියල්ල සිවිල් නඩු විධාන සංග්‍රහය ප්‍රකාරව නඩු නිමිත්තක් නොමැතිව පවරා ඇති බවයි.

එම නඩු ගොනු කළ අවස්ථාවේදී සිරිසේන මහතා ජනාධිපතිවරයා වශයෙන් කටයුතු නොකළ බවත් ඔහු එම ප්‍රහාරය සම්බන්ධයෙන් දැන සිටියේය යන උපකල්පනය මත එම නඩු පැවරීම සිදුකර ඇති බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.

මීට පෙර ද ත්‍රස්ත ප්‍රහාර රටතුළ සිදුව ඇති බැවින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නඩු පවරන්නේ නම් මෙරට එල්ලවී ඇති සිය ගණනක් වූ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් තමාට පෙර බලයේ සිටි ජනපතිවරුන්ටත් නඩු පැවරිය යුතු බවත් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අවධාරණය කර තිබුණා.

පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත්වුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෂමිල් පෙරේරා මහතා එදින අධිකරණයේ කරුණු දක්වමින් හිටපු ජනපතිවරයා වෙනුවෙන් කරනු ලබන ඉල්ලීම සිවිල් නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදනවලට පටහැනි බව කියා තිබුණා.

පාස්කු ඉරුදින ප්‍රහාරයක් එල්ල වන බවට විත්තිකරුවන්ට කලින්ම තොරතුරු ලැබී තිබුණු බවට සාධාරණ හෙළිදරවු වීමක් ඇති බැවින් එම නඩු පැවරීම සිදුකළ බව කී ජනාධිපති නීතිඥ ෂමිල් පෙරේරා වගඋත්තරකාර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් කරන මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා තිබුණා.

එම සිද්ධියට අදාළව කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු 128 ක් ගොනු කර තිබෙනවා.

Rate this item
(1 Vote)