March 29, 2024

පිපිරීම් වුණේ ගෑස් වලින්මද? ගෑස් වන්දි දෙන්න කොන්දේසියක්

ගෑස් ආශ්‍රිතව සිදු වන අනතුරු සම්බන්ධයෙන් රුපියල් මිලියනයක රක්ෂණ ආවරණ පහසුකම් ලබා දෙන බවට ලිට්‍රෝ සමාගම දැනුම් දුන්නද ගෑස් පාරිභෝගිකයන් පවසන්නේ තම ගැටළු දැනුම් දීමට අපහසුතා මතුවන බවයි.

ලිට්‍රෝ සමාගමේ සභාපති තෙශාර ජයසිංහ මහතා සඳහන් කලේ 1311 අංකය ඇමතීමෙන් පාරිභෝගිකයන්ට එම රක්ෂණ පහසුකම ලබා ගත හැකි බවයි.

ඒ අනුව අදාළ අංකය හරහා ලිට්‍රෝ සමාගම සඳහා සම්බන්ධ වීමට අපද කිහිපවතාවක් උත්සහ කලද එම උත්සාහය ව්‍යර්ථ වුණා.

ඒ සම්බන්ධයෙන් පාරිභෝගිකයෙක් සඳහන් කලේ මෙවැන්නක්,

"1311 නම්බර් එකට හතර පස් සැරයක් කෝල් කළා. රින්ස් යනවා මිසක් කිසි කෙනෙක්ගෙන් ආන්සර් එකක් නැහැ."

අප ලිට්‍රෝ ගෑස් සමාගමේ හිමිකාරිත්වය හොබවන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් මේ පිළිබඳව විමසීමක් කළා.

එහි සභාපති විජිත හේරත් මහතා සඳහන් කළේ මිට මාසයකට පමණ ඉහතදී ලිට්‍රෝ සමාගම විසින් ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් නව රක්ෂණ ආවරණයක් ලබා ගෙන ඇති බවයි.

ගෑස් අනතුරු සඳහා ලිට්‍රෝ සමාගමේ නිර්දේශ පරිදි වන්දි ලබා දීමට කටයුතු කරන බව රක්ෂණ සංස්ථාව ප්‍රකාශ කළා.

නමුත් ඒ සඳහා අදාළ පිපිරීම් සෘජුවම ගෑස් නිෂ්පාදනයේදී සිදු වූ දෝෂයකින්ම සිදු වූ බවට තහවුරු කල යුතු වෙනවා.

මේ අතර තවමත් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ගෑස් ආශ්‍රිත පිපිරීම් වාර්තා වන්නේ රට තුල ගෑස් හිඟය ද අවසන් නොවූ පසුබිමකයි.

මොරගහහේන ගෝනපල ප්‍රදේශයේ නිවසක ගෑස් උදුනක් පුපුරා ගොස් තිබුණේ ගෙහිමි කාන්තාව ආහාර පිසීමෙන් මද වෙලාවකින් පසුවයි.

ගම්පොල පුපුරැස්සේ නිවසකත් ගෑස් ලිපක් පුපුරා ගොස් තිබෙනවා.

මේ අතර දිවයිනේ පවතින ගෑස් හිඟය හේතුවෙන් අලෙවි නියෝජිත ආයතන අසල තවදුරටත් දිගු පෝලිම් දක්නට ලැබුණා.

"උදේ 5.45ට ඇවිල්ලා පෝලිමේ ඉන්නේ." 

"උදේ 4.00 ඉඳලා පෝලිමේ ඉන්නවා."

"පොරකාලා තමයි ගත්තේ."

"හුඟ කාලෙකට පස්සේ තමයි ගෑස් එකක් හම්බ වුණේ."

"සෑහෙන්න වෙලා ඉඳලා තමයි යන්නේ මේ හිස් අතින්."

කෙසේ නමුත්, වත්තල - උස්වැටකෙයියාව - තල්දියවත්ත මුහුදු තීරයේ නැංඟු‍රම්ලා ඇති ගෑස් නෞකාවෙන් ගෑස් පොම්ප කිරීම අද ආරම්භ කෙරුණා.

Rate this item
(0 votes)
Last modified on Friday, 07 January 2022 15:41