April 20, 2024

විදුලි අර්බුධයක් - කිසිදු දැනුම්දීමකින් තොරව විදුලි කප්පාදුවක්

මේ වන විට ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටීමක් සිදු වී ඇති බවට වාර්තා වෙනවා.

ඒ අනුව කොළඹට තදාසන්න ප්‍රදේශ රැසකත්, හෝමාගම ප්‍රදේශයේත් මේ වන විට විදුලි බිඳ වැටීමක් සිදුව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ හදිසි ඇමතුම් ඒකකයෙන් අප කළ විමසීමකදී සඳහන් කලේ හදිසි විදුලි බිඳ වැටීමක් සිදු වී ඇති බවත් එය කඩිනමින්  යථා තත්වයට පත් කිරීමට කටයුතු සිදු කරමින් පවතින බවත්ය.

මේ අතර ඊයේ රාත්‍රියේත් ප්‍රදේශ රැසක විදුලි බිඳ වැටීම් සිදු වූ අතර එහිදී සඳහන් වුයේ කැලණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රයක ඇති වූ දෝෂයක් මෙම විදුලි බිඳවැටීමට හේතු වී ඇති බවයි.

රාත්‍රී 9.00 පමණ වන විට විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කර ගැනීමට විදුලිබල මණ්ඩලයට හැකිව තිබුණා.

මේ අතර ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමයේ  සභාපති හා ලංවිම වෘත්තීය සමිති එකතුව ප්‍රධාන ලේකම් ඒ.ජී.යූ.නිශාන්ත මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ අද වන විට ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුමය ආයතනයක් වෙනුවට පණිවිඩ හුවමාරු කරන ආයතනයක් බවට පත්ව ඇති බවත් කිසිදු දැනුම් දීමකින් තොරව විදුලි කපා හැරීමක් සිදු කරන බවත්ය.

ප්‍රධාන හේතුව ලෙස ඔහු සඳහන් කරන්නේ පසුගිය දෙසැම්බර් තුන්වැනිදා මුළු දිවයිනටම විදුලිය බිඳවැටීමක් සිදු වූ බවත් එහි වාර්තාව මේ වන විට ප්‍රසිද්ධියට පත්ව ඇති බවත්ය.

එහි ප්‍රතිඵලයක් ලෙස අද වන විටත් නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ඒකක තුන ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්වයක් උත්ගතව ඇති බවත්ය.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කලේ,

"අපිට දැනගන්න තිබෙන තොරතුරු අනුව ඊයේ උදෑසන කැලණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රයක් අක්‍රිය වෙලා තිබෙනවා. මෙම ජනන යන්ත්‍රයේ උෂ්ණත්වය අඩු වෙලා නඩත්තුව සඳහා ලඟාවීමටත් දින දෙකක් යනවා. විදුලි අඩු තත්ත්වයක් තිබෙනවා නම් එහෙම තත්ත්වයක් තිබෙනවා නම් කලින් දැනුවත් කරලා ඒකට කළමණාකාරීත්වයක් ඇතිකර ගත යුතුයි. එහෙම සිදු නොවීම ගැන අපි වෘත්ති සමිතියක් විදියට දැඩි අප්‍රසාදය පළ කරනවා. ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුමය ආයතනයක් ලෙස මීට වඩා වගකීමෙන් පාරිභෝගිකයාට විදුලි සැපයීම කළ යුතුයි. මේ අවස්ථාවේ පාරිභෝගිකයන් ගෑස් අර්බුදය ඉන්න අවස්ථාවක විදුලියට හුරු වෙලා තිබෙනවා තමන්ගේ දෛනික කටයුතු කරගන්න. ජනතාව රාජකාරිට ගිහින් ඇවිදින් ආහාරයට ගන්න බත් එක විදුලියට සම්බන්ධ කර තිබෙන අවස්ථාවක මේ වගේ විසන්ධි කිරීම් වලින් දැඩි හානියක් සිදුවෙනවා. ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති විදිහට ලංකා විදුලිබල මණ්ඩලය අවස්ථාවාදී විදිහට කටයුතු කරන පාලන අධිකාරියට අපි කියනවා වගකීමෙන් කටයුතු කරන්න අවශ්‍යයි.

මේකට ප්‍රධානම හේතුව ලෙස අපි දකින්නේ පසුගිය තුන්වැනිදා ලංකාවට විදුලිය බිඳ වැටීම නිසා නොරොච්චෝලේ බලාගාරයට සිදු වූ හානිය නිසා මේ තත්ත්වයට අද පත්වෙලා තිබෙනවා කියන එක තමයි අපේ අදහස. අපිටත් වෘත්තිය සමිති ලෙස සැකයක් තිබෙනවා මේක කඩාකප්පල්කාරී ක්‍රියාවක් ද කියලා. පරිපාලනයේ වැරැද්දක් නිසා අද අපිට විදුලි නැති වෙලා තිබෙනවා. රට කරන බලධාරීන්ට අපි පණිවිඩයක් දෙමු විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරලා මේ පද්ධතිය පවත්වා ගෙන යන්න කටයුතු කරනවා ඔබ ඔබගේ රාජකාරිය හරියට කරන්න කියලා. මේ විදුලි ගැටලුව තිබෙන්නේ හවස 6.30ත් රාත්‍රී 9.00ත් අතර කාලය තුළ සියලුම ජනන යන්ත්‍ර ක්‍රියාත්මක වෙන තත්ත්වයක් තිබෙන්නේ."

2015 සිට මේ දක්වා කිසිදු බලාගාරයක් ඉදි කර නොමැති බවත් ඒ වෙනුවට දැවි තෙල් ගැනීම් නිසා විදුලි අර්බුදයක් ඇති විය හැකි බවත් ඒ මහතා සඳහන් කළා.

ඒ හේතුව නිසා විදුලි අර්බුදයක සිටින බව ඉතා පැහැදිලි බවත් විදුලිබල මණ්ඩලයේ සිදුවන විදුලි මාෆියාව වෙනුවෙන් මීට වඩා අවධියෙන් සිටින්නැයි රට කරවන බලධාරීන්ගෙන් ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමයේ  සභාපති හා ලංවිම වෘත්තීය සමිති එකතුව ප්‍රධාන ලේකම් ඒ.ජී.යූ.නිශාන්ත මහතා ඉල්ලීමක්ද සිදු කළා.

ඒ අතර ඔහු දැඩිව අවධාරණය කර සිටියේ විදුලි ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන අය‍ට දැඩිව නිතිය ක්‍රියාත්මක කරන ලෙසයි.

"වෘත්තීය සමිති විදිහට අපි ප්‍රකාශ කරනවා මේ අවස්ථාවේදී තියෙන සම්පත් කළමනාකරණය කරගෙන මේ පද්ධතිය පවත්වාගෙන යා හැකියි කියලා. මේ ආයතනය තුළ ඉන්නව එදා විමලසුරේන්ද්‍ර පරපුරේ ඉංජිනේරුවන්. ඒ ඉංජිනේරුවන්ට ඔවුන්ගේ රාජකාරිය කරන්න දෙන්නෙ නැති අවස්ථාවාදී කණ්ඩායමක් ඉන්නවා. ඉංජිනේරුමය කාර්යන් ලබාගෙන මේ රටටත් මහජනයාටත් සෙතක් සලසන ආයතනයක් බවට පත් කිරීමට වගකිවයුතු පාර්ශවයන්ගේ අවධානය යොමු කළ යුතුයි." යැයිද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

(මීගොඩ - බුද්ධික කුමාරසිරි)

Rate this item
(0 votes)
Last modified on Friday, 07 January 2022 11:38