April 25, 2024

"මේ අයගෙන් පරිස්සම් වෙන්න" - ප්‍රමිතගෙන් ශ්‍රීලනිපයට කුණු කතාවක්

ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය සමඟ ඒකරාශි වූ සියලු සුළු පක්ෂ විනාශභාවයට පත් වෙමින් තිබෙන ඉතිහාසයක් ඇති පක්ෂයක් බවත් එම පක්ෂයෙන් ඉතා පරිස්සම් විය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසුවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජනතා විමුක්ති පෙරමුණ වර්තමාන රජයට නගන චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මන්ත්‍රීවරයාගෙන් විමසීමේ දී ඒ මහතා මේ බව සඳහන් කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මාණය කරන අවස්ථාවේදී ටී.බී.තෙන්නකෝන් මහතා ඇතුළු කණ්ඩායම සිටි බවත් එම පක්ෂය නිර්මාණය කළ පවුලක පිරිස හැටියට වර්තමාන තත්ත්වය කෙසේදැයි අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සහ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගෙන් මාධ්‍යවේදීන් විමසීමේ දී ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයට දැඩි ලෙස දෝෂාරෝපණය ලක් කිරීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන කතා කරලා ඵලක් නොමැති බවත් එය මීතොටමුල්ල කුණු කන්ද වැනි තත්ත්වයට පත්ව ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළා.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් පළ කළා,

"ජනතාව විමුක්ති පෙරමුණ මේ දවස්වල පොඩ්ඩක් චූන් වෙලා ඉන්නවා වගේ පේනවා. දේශපාලනඥයෝ කලකිරුණු වෙලාවට කියන කතාවක් තමයි ඉල්ලා අස් වෙනවා කියලා කියන එක. හැබැයි ඉල්ලා අස්වුනු කෙනෙක්  නැහැ. ගෙවල්වලත් පොඩි ප්‍රශ්නයක් ඇති වුනාම දාලා යනවා කියනවා, දික්කසාද වෙනවා කියනවා. හැබැයි දික්කසාද වෙන්නේ කීයෙන් කී දෙනාද? ඉතා අඩු ප්‍රමාණයක්. රටේ තියන වසංගතයක් එක්ක සමහරු ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දෙනවා කියලා කියනවා. හැබැයි මතක තියා ගන්න ඡන්ද පෙට්ටිය ඇරලා බැලුවහම ඡන්ද වානා ඡන්ද ඉල්ලෙ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ක එකතු වෙච්ච සියලු පක්ෂ විනාශ කළා. 70 දශකයේ ආණ්ඩුවක් හදන්න වමේ  පක්ෂ එකතු වුණා. ඊට පස්සේ ඒ පක්ෂ සියල්ල විනාශ වුණා. රටේ පැරණිම පක්ෂය එක්සත් ජාතික පක්ෂය සමඟ එකතු වුණා. අවුරුදු කීයද ගියේ එක්සත් ජාතික පක්ෂය නැති වෙලාම ගියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අන්න ඒ වගේ පක්ෂයක්. අපි ප්‍රවේශම් විය යුතුයි මේ අය මෙතන ඉන්නකම්."

(දඹුල්ල - කාංචන කුමාර ආරියදාස)

 

Rate this item
(0 votes)