April 20, 2024

කිරිපිටි දෙන දවස කියයි - හාල් පෝලිම් ඇරඹෙයි Featured

වෙළඳපොල තුළ පවතින ආනයනික කිරි පිටි හිඟය මේ මස අවසානය වන තෙක් පවතිනු ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළා.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා කියා සිටියේ, ඩොලර් හිඟය මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව බවයි.

කෙසේ වෙතත්, මේ මස අවසානයේ හෝ පෙබරවාරි මස මුල කිරිපිටි රැගත් නෞකාවක් දිවයිනට ළඟා වන බව ඔහු සඳහන් කළා.

පසුගිය මස 31 වැනිදා සිට ආනයනික කිරිපිටි මිල ඉහළ නැංවීමට කිරිපිටි ආනයනකරුවන් පියවර ගත්තා.

ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 150කින් සහ ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 60කින් ඉහළ දැමීමට පියවර ගැනුණා.

මේ වනවිට ආනයනික කිරිපිටි කිලෝවක් රුපියල් 1,345කට අලෙවි වන අතර, කිරිපිටි ග්‍රෑම් 400ක පැකට්ටුවක් අලෙවි වන්නේ රුපියල් 540කට යි.

කිරිපිටි හිඟය හේතුවෙන් ප්‍රදේශ රැසක කිරිපිටි අලෙවි සැල් අසල අදත් දිගු පෝලිම් දක්නට ලැබුණා.

මේ අතර සෑම ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයකටම අදාළව රුපියල් මිලියනක රක්ෂණාවරණයක් පාරිභෝගිකයන්ට හිමි වන බව එම ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පවසනවා.

එමෙන්ම, ගෑස් හිඟකම හේතුවෙන් බොහෝ තරු පන්තියේ හෝටල්වල ආහාර පිසීම සඳහා දර භාවිතා කරන වාර්තා වුණා.

තැන තැන සිදුවන ගෑස් ආශ්‍රිත අනතුරු තවමත් අවසන් වී නැහැ.

පසුගිය දින කිහිපය තුළම එවැනි සිද්ධීන් ගණනාවක් වාර්තා වූ අතර, ඊයේ දිනයේ ද ත්‍රිකුණාමලය - නවරත්නපුරම් ප්‍රදේශයේ ගෑස් සිලින්ඩරයක් පුපුරා ගොස් තිබුණේ ආහාර පිළියෙල කරමින් සිටියදියි.

ගෑස් හිඟකම හේතුවෙන් අලෙවි නියෝජිත ආයතන ඉදිරිපිට අද පෙරවරුවේත් දිගු පෝලිම්වල ජනතාව රැදී සිටින අයුරු අප වාර්තාකරුවන් නිරීක්ෂණය කර තිබුණා.

මේ අතර, ගෑස් ආශ්‍රිත පිපිරීම් හා ගෑස් හිගකම හේතුවෙන් දිවයිනේ පුරා කුඩා ප්‍රමාණයේ හෝටල් සියයට 20ක් පමණ වැසී ගොස් තිබෙනවා.

තරු පන්තියේ හෝටල්වල සූපවේදීන්, විකල්ප ක්‍රමවේදයන් කෙරෙහි අවදානය යොමු කර ඇති අතර, කෑම පිසීමට දර භාවිත කිරීම ප්‍රධාන විකල්පයක්.

එමෙන්ම භූමි තෙල් ද යොදා ගනු ලබන බවයි වෘත්තීය සූපවේදීන්ගේ සංගමයේ සභාපති දිල්රුක්ෂාන් දාබරේ මහතා කියා සිටියේ.

ගෑස් ආශ්‍රිත පිපිරීම් සහ ගෑස් හිඟය හේතුවෙන් ජනතාව භූමිතෙල් භාවිතයට යොමු වීම හේතුවෙන් භූමිතෙල් මිල දී ගැනීමට ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටිනවා.

මේ අතර පොහොර ගැටලුව හේතුවෙන් නිසි කලට වී අස්වැන්න නොලැබීම නිසා ඉදිරියේදී සහල් මිල දී ගැනීම සඳහා ද ජනතාවට පෝලිමේ සිටීමට සිදු විය හැකි බව සහල් නිෂ්පාදකයන් පවසනවා.

මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගොවින් ඉල්ලා සිටින්නේ මේ විනාශ වූ තම වගාවන් වෙනුවෙන් රජය නිසි වන්දියක් ලබා දෙන ලෙසයි.

එක්සත් සහල් නිෂ්පාදකයිනේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් දක්වා සිටියා,

"ප්‍රමාණවත් පරිදි වී තොග සහල් නිෂ්පාදනයට මේ වෙන විට ලැබෙන්නේ නැහැ මෝල් හිමියන්ට. කිලිනොච්චි, මඩකලපුව, අම්පාර වගේ ප්‍රදේශවලින් මහ කන්නයේ අස්වැන්න මේ වෙනකොට වෙන වසර වලදී ලැබිලා. මේ වසරේ පොහොර අර්බුධය නිසා ගොවින් වගා වාර ප්‍රමාද කිරීම නිසා මෙතෙක් අලුත් වී තොග ලැබෙන්නේ නැහැ පොළොන්නරු දිස්ත්‍රික්කයට. මේ තත්වයත් එක්ක ගත්තම ලබන මාසේ අන්තිම වෙද්දී ලංකාව ඇතුලේ විශාල සහල් හිඟයක් ඇති වෙන්න පුළුවන්. කිරිපිටි, ගෑස් වගේම පෝලිම් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අපි ආණ්ඩුවට යෝජනා කරනවා පොහොර අර්බුධය නිසා අඩු වන වී අස්වැන්න පිළිබඳව නිසි ගණනයක් කරලා වහාම ආරක්‍ෂිත සහල් තොගයක් තබා ගන්න ආහාර දෙපාර්තමේන්තුවේ ගබඩා වල. ඒ වගේම ආණ්ඩුවට සිද්ධ වෙයි මේ අවුරුද්ද තුළ සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 8ක් 10ක් විතර ආනයනය කරන්න. ආණ්ඩුවට ඩොලර් මිලියන 450කට ආසන්න මුදලක් වැය වේවි මේ සහල් මෙට්‍රික් ටොන් ආයේ ආනයනය කරන්න."

Rate this item
(0 votes)
Last modified on Thursday, 06 January 2022 15:50