April 26, 2024

සාර්ථක කාබනික පොහොරක් සොයා ගැනේ - තරුණයින්ගෙන් අලුත් වැඩක් (PHOTOS)

ගිනිගත්හේන ලක්ෂපාන ප්‍රදේශයේ තරුණයන් දෙදෙනෙකු විසින් වවුල් අපද්‍රව්‍ය යොදා ගනිමින් සාර්ථකව කාබනික පොහොර නිෂ්පාදනය කිරිමට සමත් වී තිබෙනවා.

ලක්ෂපාන ප්‍රදේශයේ වසර 40කට අධික කාලයක් ලංකා විදුලි බල මණ්ඩලය විසින් කැනිම් කටයුතු සිදු කර අතහැර දමා ඇති උමං සහ ලක්ෂපාන ප්‍රදේශයේ පිහිටි ගල් ලෙන්වල ජීවත්වන වවුලන්ගේ අපද්‍රව්‍ය එක්රැස් කර කාබනික පොහොර නිෂ්පාදනය සිදු කරනු ලබනවා.

එම ගල් ගුහා වලින් එක්රැස් කර ගන්නා වවුල් අපද්‍රව්‍ය කැළණි ගග හරහා රැගෙන ඒමට එම තරුණයන් දෙදෙනා දැඩි පරිශ්‍රමයක් දරන අතර, දිනපතා වවුල් අපද්‍රව්‍ය එක්රැස් කිරිමට අවස්ථාව ලැබෙන බවද එම තරුණයන් දෙදෙනා කියා සිටිනවා.

මෙම වවුල් පොහොරවල ශාක වර්ධනයට අවශ්‍ය නයිට්‍රිජන්, පොටෑසියම්, පොස්පරස් ඇතුළු පෝෂණ කොටස් ශාක වර්ධනයට හිතකර ලෙස පවතින බවත් දැනට කරන ලද වගාවන් වලින් සාර්ථක ප්‍රතිඵල ලැබි ඇති බවත් එම තරුණයින් දෙදෙනා කියා සිටියා.

එසේ නිෂ්පාදනය කරන ලද කාබනික පොහොරවල නයිට්‍රිජන් ප්‍රතිශතය 2% සිට 2.7% දක්වා පරාසයක පවතින බවත් ගන්නොරුව සහ මාකඳුර පර්යේෂණ ආයතන මඟින් ඒ සඳහා ලබා ගත් පර්යේෂණ සහතිකයක්ද එම තරුණයන් දෙදෙනා සතුව පවතිනවා.

දැනට එම තරුණයන් දෙදෙනා විසින් නිෂ්පාදනය කරනු ලැබු වවුල් පොහොර කිලෝ ග්‍රෑම් 20,000 - 30,000 අතර තොගයක් පවතින බවත්, තමන්ට ලැබෙන විවේක කාලයන්හි රැකියාවෙන් ලබා ගන්නා ලද  මුදල් වලින් මෙම ව්‍යාපෘතිය සිදු කළ බවත් මෙම කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ආයෝජකයකු ලබා දී  ගෘහ ආශ්‍රිත වගාවන් සඳහා මෙම කාබනික පොහොර බෙදා හැරිමේ වැඩසටහනක් දියත් කිරිමට කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ නිලධාරින් පියවර ගත යුතු බවයි එම තරුණයන් දෙදෙනා කියා සිටින්නේ.

(හැටන් රංජිත් රාජපක්ෂ)                          

Rate this item
(0 votes)
Last modified on Thursday, 06 January 2022 18:00