March 29, 2024

"මඩු වලිගෙත් අරගෙන තමයි ආවේ අපිටම ගහ ගන්න" - තවමත් ජනතාව පෝලිම්වල

ලිට්‍රෝ සමාගමට අයත් ගෑස් නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබෙනවා.

පාරිභෝගික අධිකාරිය සඳහන් කලේ එම ගෑස් තොගයේ සංයුතිය පරික්ෂා කිරීම සඳහා කණ්ඩායමක් මෙම නෞකාවට ගොස් ඇති බවයි.

ලාෆ් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්.වෑගපිටිය මහතා සඳහන් කළේ සිය සමාගමට අයත් ගෑස් නෞකාවක් ද හම්බන්තොට වරායට අද ළඟා වන බවයි.

තොග ලැබුණ ද සිය සමාගමට උපරිම ධාරිතාවයකින් ගෑස් සැපයීම සිදු කළ නොහැකි බව ඔහු සදහන් කළා.

ණයවර ලිපි නිකුත් කිරීමේ දී මතුව ඇති ඩොලර් අර්බුදය ඊට හේතු වී ඇති බවයි ලාෆ් සමාගමේ සභාපතිවරයා පෙන්වා දුන්නේ.

කෙසේවෙතත් තවමත් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ගෑස් කාන්දු වීම් සහ ගෑස් ආශ්‍රිත අනතුරු වාර්තා වෙනවා.

කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක මුළුතැන්ගෙයි සිදු වූ ගෑස් ආශ්‍රිත අනතුරකින් එහි සේවකයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, මුළුතැන්ගෙට ගෑස් සපයන නළයක සිදු වූ කාන්දුවක් හේතුවෙන් මෙම අනතුර සිදු ව ඇති බවයි.

එමෙන්ම අම්බලන්ගොඩ ප්‍රදේශයේ නිවසක ගෑස් ආශ්‍රිත පිපිරීමක් වාර්තා වූ අතර කොට්ටාව ප්‍රදේශයේ වෙළඳසැලකින් මිලදී ගත් ගෑස් සිලින්ඩරයකින් අධික ලෙස ගෑස් කාන්දු වන බව වාර්තා වුණා.

මේ අතර වෙළඳපොළ තුළ ප්‍රමාණවත් සැපයුමක් නොමැති වීමෙන් තවදුරටත් ගෑස් පෝළිම් දක්නට ලැබෙනවා.

අම්බලන්ගොඩ නගරයේ පිහිටි ලිට්‍රෝ සමාගමට අයත් අලෙවිසැලක අද අලුයම සිට දිගු පෝළිම් දක්නට ලැබූ බව අප වාර්තාකරු සඳහන් කළා.

උදෑසන 9.00ට පමණ එම ස්ථානයට ගෑස් සිලින්ඩර රැගත් ලොරියක් පැමිණ ඇති අතර එහි දී ඇති වූ උණුසුම්කාරි තත්ත්වය පාලනය කිීරීම සඳහා මැදිහත් වීමට පොලිසියට ද සිදු වුණා.

මේ අතර නුවරඑලිය නගරයේ ලිට්‍රෝ ගෑස් අලෙවි නියෝජිතයෙකු විසින් ගෑස් සිලින්ඩර් පාරිභෝගිකයන්ට ලබා නොදිම හමුවේ එම අලෙවි නියෝජිතයා සතුව තිබු ගෑස් සිලින්ඩර් නුවරඑලිය පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින්ගේ මැදිහත් විමෙන් පාරිභෝගිකයන්ට ලබා දීම අද (05) දින සිදු කරනු ලැබුවා.

ලිට්‍රෝ ගෑස් සමාගම විසින් නුවරඑලියේ එම අලෙවි නියෝජිතයාට ගෑස් සිලින්ඩර් 50ක් පමණ අද (05) දින ලබා දී ඇති අතර, එසේ ලබා දුන් ගෑස් සිලින්ඩර් ඇණවුම් වලට ලබාදිය යුතු බව පවසමින් පෝලිමේ රැදි සිටි පාරිභෝගිකයන්ට ලබානොදීම හමුවේ පාරිභෝගිකයන් කිහිප දෙනෙකු එම අලෙවි නියෝජිත වෙලදසැලට බලහත්කාරයෙන් පිවිස ගෑස් සිලින්ඩර් කිහිපයක් මිල දි ගනු ලැබුවා.

එම අලෙවි නියෝජිතයා විසින් ගෑස් සිලින්ඩර් ලබා නොදිම සම්බන්ධයෙන් නුවරඑලිය පාරිභෝගික සේවා අධිකාරි කාර්යාලයේ නිලධාරින් වෙත පෝලිමේ රැදි සිටි පාරිභෝගිකයන් දැනුම් දිමෙන් පසු එම නිලධාරින් පැමිණ අලෙවි නියෝජිතයා සතුව තිබු ගෑස් සිලින්ඩර් බෙදා දිම සිදු කරනු ලැබුවා.

ගෑස් මිලදී ගැනීම සඳහා පැමිණ සිටි ජනතාව දැක්වුයේ මෙවන් අදහසක්,

"ඊයෙත් ආවා හම්බුණේ නැහැ. අද උදේ පාන්දර ඉදන් ඉන්නවා. ලැබෙයිද කියලා අපිට සැකයි."

"ගෑස් එකක් ගන්න කොළඹ වටේම කැරකි කැරකි ඉන්නේ."

"මම ආවේ පාන්දර තුනට. මොනා කරන්නද බඩු අවශ්‍යයිනේ."

"අපි ඉතින් අනාත කරලා තියෙන්නේ. අපි ඕවා විශ්වාස කරලනේ දුන්නේ."

"පාන්දර 6 ඉදලානේ මෙතන ඉන්නේ. ගෑස් හම්බ වෙනකොට අපේ රස්සාව නැහැ."

"අයියෝ මලා එහෙනම්. දැන් හෙටත් එන්න වෙනවා."

"උපන් ජීවිතේට දැක්කේ නැහැ මේ වගේ ආණ්ඩුවක්."

"මඩු වලිගෙත් අරගෙන තමයි ආවේ අපිටම ගහ ගන්න."

"ආණ්ඩුව වෙනස් කරලා හරි යන්නේ නැහැනේ. කවුරු ආවත් කරන්න බැහැනේ මේක. රටේ ප්‍රශ්නයක් තියෙනවනේ ඩොලර් හින්දා."

"ජන්දේ ගන්නකොට 1500ක් දීලා මිනිස්සු ගේනවනේ. රෑ කෑම, තුන් වේල කෑම දෙනවා. දැන් බඩගින්නේ ඉන්නවා ළමයි ඔක්කොම. ඇයි මෙහෙම අපරාධ කරන්නේ? පාර්ලිමේන්තුවේ රණ්ඩු වෙනවා. ඊට පස්සේ පාටි දාගෙන ඔක්කොම යාලුවෝ."

"තේ බොන්නවත් ගෑස් නැහැ."

"මිනිස්සු බය වුණාට ගෑස් ගන්නවා. ලාම්පුතෙල් කොච්චර කියලා ගන්නද? දර නැහැ කොළඹ ඉන්න කට්ටියට පත්තු කරන්න. ඒ නිසා මොනා වුණත් ගෑස් අරගන්නවා."

"උදේ 4 ඉඳන් පෝලිමේ ඉන්නේ"

"බයයි මොනා කරන්නද? ඔක්කොම කෑම ටික හෙල්මට් එක දාගෙන උයනවා. දවස ගානෙම පෝලිමේ 200ක් විතර ඉන්නවා. දවසට එන්නේ 40ක් 50ක්."

"අවුරුදු දවසේ හරි මිනිස්සුන්ට උයාගෙන කන්න කරන්න ගෑසුත් නැහැ. භුමිතෙලුත් නැහැ."

ගෑස් ගෙන යාමට පැමිණි පුද්ගලයෙකු එම ස්ථානයේදී සිහසුන්ව ඇඳ වැටුණු අතර පොලිසිය හා එහි සිටි පිරිස ඔහුව ප්‍රතිකාර සඳහා රෝහල්ගත කළා.

මේ අතර ගෑස් ටැංකි පිපිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කට උත්තරයක් ලබාදීම සඳහා  ලිට්‍රෝ සමාගමේ නිලධාරීන් මෙතෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ නැතැයි රහස් පොලිසිය තමාට දැනුම් දුන් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පැවසුවා.

ගෑස් ටැංකි පිපිරීම සම්බන්ධව කඩිනමින් විභාග කර වැරදිකරුවන්ට නීති පියවර ගන්නැයි දෙසැම්බර් 7 වැනිදා සමගි ජනබලවේග මන්ත්‍රීවරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බව කී මුජුබර් රහුමාන් මහතා එම පරීක්ෂණ වල ප්‍රගතිය සොයා බැලීම සඳහා අද (5) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය අවස්ථාවේ රහස් පොලිසිය මෙම දැනුම්දීම කළ බවද රහුමාන් මහතා සඳහන් කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හර්ෂණ රාජකරුණා සහ කාවින්ද ජයවර්ධන මහත්වරුන්ද සමගි ජන බලවේගයේ නීතිඥවරුන් ද මේ සම්බන්ධ කරුණු  දැනගැනීම සඳහා මුජුබුර් රහුමාන් මහතා සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් තිබෙනවා.

අදාළ ගෑස් පිපිරීමේ සිද්ධි සම්බන්ධයෙන් සිවිල් සංවිධාන හතරක් ද පැමිණිලි කර තිබෙන බවත් ඒ පිළිබඳව නීතිපති උපදෙස් ඉල්ලා ඇති නමුත් තවමත් එය ලැබී නොමැති බව රහස් පොලිසිය මන්ත්‍රීවරුන්ට දැනුම් දුන් බවත් මුජුබර් රහුමාන් මහතා සඳහන් කළා.

ගෑස් සංයුතිය වෙනස් කිරීමෙන් පැහැදිලිවම අපරාධයක් සිදු වී තිබෙන්නේ යැයි කී රහුමාන් මහතා නමුත් නීතිය ක්‍රියාත්මක නොකරන්නේ මේ පිටුපස දේශපාලකයන් සිටින නිසා බව පැහැදිලි යැයිද සඳහන් කළා.

රජයේ සමාගමක් වන ලිට්‍රෝ සමාගමේ නිලධාරීන් පත් කරන්නේ මුදල් ඇමැතිවරයා බවත් මේ අනුව ආණ්ඩුව නීති ක්‍රියාමාර්ග නොගැනීමට හේතුව පැහැදිලි බවත් මුජුබර් රහුමාන් මහතා පැවසුවා.

මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගෑස් පෝලිම්වලට අමතරව කිරිපිටි පෝලිම්, භූමිතෙල් පෝලිම් මෙන්ම සහල් පෝලිම් පවා දක්නට ලැබුණා.

Rate this item
(0 votes)