April 25, 2024

ගොවින් අන්දලා - හොර වැඩක් අතේ මාට්ටු (PHOTOS)

පොහොර අර්බුදයෙන් බැටකමින් සිටි තමන් ව්‍යාජ පොහොර සහ කෘමි නාශක හේතුවෙන් කබලෙන් ලිපට වැටී සිටින බව හලාවත, දැදුරුඔය දකුණු ඉවුරේ ගොවීන් සදහන් කරනවා.

දැදුරුඔය දකුණු ඉවුරේ ගොවීන් 3000ක් පමණ අක්කර 5000ක පමණ දෛනිකව වගා කටයුතු සිදු කරන බවත් මෙම ගොවීන් විවිධ වර්ගයේ කීර, ගස්ලබු ඇතුළු පළතුරු වර්ග, එළවළු සහ පොල් වගාවන්ද සිදු කරනවා.

මෙරට පාරිභෝජනය සදහා අවශ්‍ය කීර වලින් වැඩි ප්‍රමාණයක් සම්පාදනය කරනු ලබන්නේ දැදුරුඔය දෑල ගොවීන් විසින්.

පසුගිය කාලය තුළ පැවති පොහොර, කෘමි සහ වල් නාශක ගැටළුව නිසා තමන් දැඩි දුෂ්කරතාවයකට මුහුණ දුන් බව ගොවීන් සදහන් කරනවා.

දිනපතා විශාල ප්‍රමාණයක් කීර සම්පාදනය කළ තමන්ට දැන් නිවසේ ආහාරයට ගැනීමට හෝ කීර මිටියක් සොයා ගැනීම ගැටළුවක් බවද ඔවුන් කියා සිටිනවා.

මෙහිදී අප සමග අදහස් දැක්වූ හලාවත, රඹේපිටිය ගම්මානයේ ගොවිමහතෙකු වන රේමන් ක්‍රිෂ්ටි මහතා මෙසේ කියා සිටියා,

"මම කරන්නේ එළවළු සහ පොල් වගාව. පසුගිය කාලයේ වගාවට දාන්න පොහොර නැතිව පුදුම දුකක් වින්දේ. කොහොම හරි කරලා අපි වගාවන් කලා කියමුකෝ. දැන් අපිට වෙළදපොළෙන් මිලදී ගන්න තියන පොහොර සහ කෘමි නාශක ගැන කිසිම විශ්වාසයක් නැහැ. පළපුරුද්ද අනුව කියන්න පුළුවන් මේ පොහොර සහ කෘමි නාශක ව්‍යාජ ඒවා බව. ප්‍රසිද්ධ ආයතන වල නමින් තමයි මේවා බෙදා හැරලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් හොයා බලන්න රජයේ නිලධාරීන් ඉන්නවා නේද? ඇයි ඒ අය මේ ගැන බලන්නේ නැත්තේ කියන එකයි අපිට තියන ගැටළුව."

රඹේපිටිය ගම්මානයේ ගොවි මහතෙකු වන සුනිල් කැමිලස් මහතා මෙසේ කියා සිටියා,

"අපේ පොල් වගාවට යොදන්න කියලා ගමේ ගොවි සමිතියේ සභාපතිතුමා ගෙනත් බෙදා දුන්න පොහොර වගයක් ගත්තා. තවත් බොහෝ දෙනෙක් පොහොර ගන්න සල්ලි බැදලා තියන බව අපි දන්නවා. මේ පොහොර වගාවන්ට සුදුසු නැහැ කියලා තමයි අපි කියන්නේ. බලන්න මේ පොහොරවල කිසිම සැර ගතියක් නැහැ. ඕනෑ නම් කාලා පෙන්වන්නත් පුළුවන්."

(ජුඩ් සමන්ත)

 

Rate this item
(0 votes)