April 20, 2024

අද කාලගුණය : පළාත් රැසකට වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඌව පළාතෙත් මඩකළපුව, අම්පාර, පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවත් කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මුලතිව් සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමන බවත් සුළගේ වේගය පැ.කි.මී. (25-35) පමණ විය හැකි බව මුහුදු ප්‍රදේශ සඳහා නිකුත් කරනු ලබන කාලගුණ අනාවැකියේ සඳහන්.

කන්කසන්තුරය සිට මන්නාරම, පුත්තලම හරහා කොළඹ දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 පමණ දක්වා වැඩි විය හැකි බවත් මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බවට එම දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවිටින් විට මද වශයෙන් රළු විය හැකි බවත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට තද සුළං සමඟ එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරනවා.

Rate this item
(0 votes)