April 24, 2024

ආණ්ඩුව ඇතුළේ අවුල ඔඩුදුවයි! ගෝඨා,මහින්ද ආ ලොකු පාටිය මගහැරි පිරිස මෙන්න! Featured

රට ගිනි ගද්දී ලොකු පාටියක්

වර්තමාන ආණඩුව බලයට පත් කර ගැනීම සඳහා වැඩ කළ පිරිස වෙනුවෙන් මාරවිල ප්‍රදේශයේ පවත්වා තිබූ නත්තල් සාදය පිළිබඳව ඒෂියන් මිරර් අප මීට පෙර ඔබට වාර්තා කළා.

මෙම සාදය සංවිධානය කර තිබුණේ විවිධ කාරණා හේතුවෙන් පසුගිය කාලයේ ආන්දෝලනාත්මක පුවත් මැවූ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත විසින්.

රට තුළ ආර්ථික අර්බුදයක් හටගෙන ඇති මොහොතක, එමෙන්ම එම අර්බුදයෙන් ජනතාව දැඩි ලෙස පීඩා විඳිමින් සිටින මොහොතක මෙම සාදයට 800ක් පමණ පිරිසක් සහභාගී කරවාගෙන ඇති බව ද වාර්තා වූවා.

පවතින කොවිඩ් වසංගත තත්ත්වය ද තවමත් පහව ගොස් නොමැති පසුබිමක දී රට පාලනය කරන පාර්ශවයෙන්ම මෙවන් දැවැන්ත සාද සංවිධානය කිරීම පිළිබඳව ඇත්තේ ප්‍රශ්ණාර්ථයක්.

පාටිය ලොකු කරන්න ජනපතිගෙන් උපදෙස්

මේ අතර පුවත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම සාදය සඳහා ප්‍රථමයෙන් කුඩා පිරිසකට ආරාධනා කිරීමට සැළසුම් කොට තිබුණත් එය වෙනස් කොට ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බව යි.

සනත් නිශාන්ත මන්ත්‍රීවරයා සැළසුම් කොට තිබී ඇත්තේ ආණ්ඩු බලය ගැනීමට පෙර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ පනස් තුන් දෙනාට පමණක් ආරාධනා කිරීමට යි.

ඔහු ඒ බව පවසමින් ජනපති සහ අගමැති දෙදෙනාට ද ආරාධනා කොට තිබෙනවා.

ඔවුන් දෙදෙනා එම ආරාධනාව පිළිගත් පසු මන්ත්‍රීවරයා සිය සාදය සංවිධානය කිරීමේ කටයුතුවල නිරත වී ඇති බව සඳහන්.

කෙසේ වෙතත් එලෙස සාදය සූදානම් කරමින් සිටි මන්ත්‍රීවරයාට ජනාධිපතිවරයා යළි කතා කොට පවසා ඇත්තේ “ඒකාබද්ධ විපක්ෂයේ හිටපු අයට විතරක් නෙවෙයි, ඔයා අයවැයේ දී පක්ෂව ඡන්දය දුන් මන්ත්‍රීවරු 157 දෙනාටම ආරාධනා කරන්න” යනුවෙන්.

අවසානයේ මෙම සාදයට 800ක පමණ ප්‍රමාණයකට ආරාධනා ලැබී ඇත්තේ ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය අනුව යමින් බව අභ්‍යන්තර පුවත් ආරංචි මාර්ග පවසනවා.

ජනපතිගේ උදව් එපාලු

මාරවිල “ක්ලබ් ෆාම්බේ” නමැති හෝටලයේයි මම සුවිසල් සාදය සංවිධානය වූයේ.

ඒ සඳහා ජනපති, අගමැති මැති ඇමතිවරු පමණක් නොව, ඔවුන්ගේ ආරක්ෂක නිලධාරීන්, රියදුරන් සහ අවට පොලිස් ස්ථානවලින් කැඳවූ නිලධාරීන් ද සහභාගී වී ඇති අතර ඒ අනුව 800ක ප්‍රමාණය සම්පූර්ණ වී තිබෙනවා.

සනත් නිශාන්ත මන්ත්‍රීවරයා කුඩා පරිමාණයෙන් සංවිධානය කළ සාදය මහා පරිමාණ ලෙසට පරිවර්තනය වූයේ තම උපදෙස් නිසා බව පවසමින් සාදයේ කටයුතුවලට සහය දෙන ලෙසට මෙහි දී ජනාධිපතිවරයා සිය පුද්ගලික ලේකම්වරයාට දැනුම් දී ඇති බව සඳහන්.

කෙසේ වෙතත් නිශාන්ත මන්ත්‍රීවරයා එය ප්‍රතික්ෂේප කොට ඇති බව යි වාර්තා වන්නේ.

අදාළ පිරිසට ආරාධනා කළේ තමන් බවත්, එම නිසා තමන්ට උදව් ගැනීමට නොහැකි බවත් මන්ත්‍රීවරයා පවසා තිබෙනවා.

ඩයනා මහින්දට ගී ගයයි

කෑමෙන් බීමෙන් මෙන්ම නැටුමින් ගැයුමින් ද අඩුවක් නොවූ මෙම සාදයට සංගීතය සැපයීම සඳහා සංගීත කණ්ඩායම් කිහිපයක්ම සහභාගී කරවාගෙන ඇති බව පුවත් ආරංචි මාර්ග සඳහන් කරනවා.

“සීදූව බ්‍රාවෝ” සංගීත කණ්ඩායම සහ කැලිප්සෝ සංගීත කණ්ඩායමක් මෙන්ම “පපර බෑන්ඩ්” එකක් ද මෙහි දී සංගීතය සපයා ඇති බව පැවසෙනවා.

එමෙන්ම මැති ඇමතිවරු ද ගී ගයමින් ප්‍රීති වී ඇති බව යි වාර්තා වන්නේ.

අරුන්දික ප්‍රනාන්දු, පියල් නිශාන්ත, චින්තක මායාදුන්නේ ආදීහු එලෙස ගී ගයා ඇති අතර ඩයනා ගමගේ මන්ත්‍රීවරිය ද සිය ගායනයෙන් පිරිස පිනවා ඇති බව සඳහන්.

සුවිශේෂී කරුණ වන්නේ ඩයනා ගමගේ මන්ත්‍රීවරියට ගී ගැයීම සඳහා ආරාධනා කර ඇත්තේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වීම යි.

එළිමහන් ප්‍රසංග නීතියේ රහස

මේ අතර සංගීතය සැපයූ සීදූව බ්‍රාවෝ සංගීත කණ්ඩායම ජනාධිපතිවරයා හමුවී කෙටි සාකච්ඡාවක් ද සිදු කර ඇති බව පැවසෙනවා.

එහි දී පෙන්වා දී ඇත්තේ කොවිඩ් නීති රීති හමුවේ සංගීත ප්‍රසංග ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකු අසරණ වී ඇති බවයි.

එබැවින් එළිමහන් ප්‍රසංග සඳහා අවසර ලබා දෙන ලෙසට ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

ඊට පසුදිනම එළිමහන් ප්‍රසංගවලට අවසර ලබා දීමට රජය පියවර ගෙන ඇත්තේ අදාළ සාදය අතරතුර සීදූව බ්‍රාවෝ සංගීත කණ්ඩායම ජනාධිපතිවරයාගෙන් සිදු කළ එම ඉල්ලීමේ ප්‍රතිඵලයක් ලෙසට බව යි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ.

“ආණ්ඩුවේ අවුල පාටියෙන් දැනේ”

මේ අතර ආණ්ඩුව තුළ සිටිමින්ම ආණ්ඩුව විවේචනය කරන පිරිස මෙම සාදයට සහභාගී වේ දැයි බොහෝ මැති ඇමතිවරු විමසිල්ලෙන් සිට ඇති බව වාර්තාවනවා.

විශේෂයෙන් විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන දෙදෙනා පැමිණේවි ද, නොපැමිණේවි ද යන ගැටළුව බොහෝ දෙනාගේ සිත් තුළ තිබී ඇති බව සඳහන්.

කෙසේ වෙතත් අවසානයේ ඔවුන් දෙදෙනා මෙම සාදයට සහභාගී වී නොමැති බව යි වාර්තා වන්නේ.

එම දෙදෙනා පමණක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරු කිසිවෙක් සාදයට සහභාගී වී නැහැ.

ආණ්ඩුවෙන් ඉවත් වී තනිව ගමනක් යාමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ද කතාබහක් හටගෙන ඇති මොහොතක ජනපති සහ අගමැති දෙදෙනාම සහභාගී වූ සාදයක් ඔවුන් මෙලෙස මගහැරීම කැපී පෙනෙන සිදුවීමක් වූවා.

එමෙන්ම අලුත් මුස්ලිම් සන්ධානයක් පිළිබඳව ද කතාබහක් මේවන විට හටගෙන ඇති අතර බොහෝ දෙනා පවසන්නේ ආණ්ඩුවෙන් පිරිසක් ඉවත් වුවහොත් අඩු විය හැකි “ඔළුගෙඩි” ගණන පිරවීම සඳහා මෙම මුස්ලිම් සන්ධානය නිර්මාණය කිරීම ආණ්ඩුවේම සැළසුමක් බවට යි.

වැඩිදුර කියවන්න: මැතිසබේ මුස්ලිම් බලය උඩු යටිකුරු වෙයි! ඩීල් එකක් ගැනත් සැකයක්!

ඇතුළෙන්ම එන විරෝධය

මේවන විට ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යධූර දරන විමල් වීරවංශ, උදය ගම්මන්පිල හා වාසුදේව නානායක්කාර ආදී අය මෙන්ම ආණ්ඩුවට පක්ෂපාතීව කටයුතු කළ අතුරලියේ රතන හිමි වැන්නවුන් ද ආණ්ඩුව පිළිබඳ දැඩි විවේචන ප්‍රසිද්ධියේ සිදු කරමින් සිටිනවා.

ඉහත කී අමාත්‍යවරුන් තිදෙනා “යුගදනවි” ගිවිසුමට එරෙහිව අධිකරණයට ද ගොස් තිබීම කැපී පෙනෙනවා.

එමෙන්ම විමල් වීරවංශ මහතා පසුගිය දා ප්‍රකාශ කළේ ඇමතිකම වෙනුවෙන් හෘදය සාක්ෂිය පාවා දීමට සූදානම් නොමැති බව යි.

ආණ්ඩුව වැරදි කරන විට නිහඬව සිටිය නොහැකි බවත්, කවුරුන් සිදු කළත් වරද වරදම බවත් ඔහු කියා සිටියා.

“විවේචන ඕනෙ නම් ඉවත් වෙන්න”

මෙවන් මොහොතක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පුවත්පත් කතුවරුන් හමු වූ අවස්ථාවේ දී සඳහන් කර තිබුණේ වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් ලෙස සිටිමින් කැබිනට් තීරණයකට එරෙහිව අධිකරණයට යාම සහ කැබිනට් තීන්දුව ප්‍රසිද්ධියේ විවේචනය කිරීම වැරදි බව යි.

කැබිනට් තීන්දුවකට එරෙහිව අධිකරණයට යනවා නම් අමාත්‍ය ධුරයෙන් ඉවත් වී එය කළ යුතු බව ද ඔහු සඳහන් කර සිටියා.

එසේ නොමැතිව කැබිනට් මණ්ඩලයේ සිටිමින්ම කැබිනට් තීරණයකට එරෙහිව අධිකරණයට යාම සහ එම තීන්දුව විවේචනය කිරීම කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කඩකිරීමක් බව යි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

මේ අනුව ආණ්ඩුවට එරෙහිව මේවන විට හඬ නගන මැති ඇමතිවරු පිරිසගේ සහය ඉදිරි පාර්ලිමේන්තු ඡන්ද විමසීමක දී හිමි නොවේ දැ යි ගැටළුවක් මතුව තිබෙනවා.

නිදහස් පක්ෂයත් වැට උඩ

එම පිරිස පමණක් නොව වර්තමාන ආණ්ඩුවට සම්බන්ධව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් ද ආණ්ඩුවේ කටයුතු ප්‍රසිද්ධියේ විවේචනය කිරීම ආරම්භ කොට තිබෙනවා.

මේවන විට එම පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගණන 17ක්.

එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා කලක සිටම ආණ්ඩුවේ ක්‍රියා විවේචනය කරමින් සිටින අතර මෑතක සිට නිදහස් පක්ෂයේ තවත් පිරිස් එවැනිම පිළිවෙතක් අනුගමනය කරනු දක්නට හැකි යි.

සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ද පසුගිය දා ප්‍රකාශ කර සිටියේ ආණ්ඩුව තුළ සුදුසුකම් ඇති පිරිස් නොමැති බව යි.

එමෙන්ම පසුගිය දා විකාශය වූ සජීවී රූපවාහිනී වැඩසටහනක් අතරතුර දී ප්‍රේම්ජයන්ත් මහතා ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කළ අයුරු ද දක්වට ලැබුණා.

එහි දී ඔහු චෝදනා කළේ රටෙහි ගැටළුවලට හේතුව වර්තමාන විධායකය බවට යි.

එපමණක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද බොහෝ විට ආණ්ඩුව පිළිබද විවේචනාත්මක අදහස් පළ කරන අයුරු නිරීක්ෂණය වූවා.

සාකච්ඡා

මෙවන් පසුබිමක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේවන විට මෙරට දේශපාලන පක්ෂ ගණනාවක් සමග සාකච්ඡා පවත්වා තිබෙනවා.

ඔවුන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමග ද සාකච්ඡා පැවැත්වීම විශේෂත්වයක්.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශවය ජනතා විමුක්ති පෙරමුණ සමග නිල නොවන වශයෙන් සාකච්ඡා පවත්වා ඇති බව දේශපාලන කරළිය තුළ රහසක් නොවෙයි.

තමන් ජනතා විමුක්ති පෙරමුණ වැනි පිරිසිදු පක්ෂයක් සමග එකතු වීමට තමන් සූදානම් බවට නිදහස් පක්ෂ පාර්ශවයෙන් මේවන විටත් කොළ එළි දල්වා ඇති නමුත් ජනතා විමුක්ති පෙරමුණ පවසා සිටියේ තමන් එලෙස ප්‍රධාන පක්ෂයක “වලිගය” වීමේ සූදානමක් නොමැති බව යි.

බුලත් කොළේ

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය හෙවත් බුලත් කොලය යළි පිහිටුවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මීට පෙර පැවසුවා.

එම සන්ධානය යටතට මෙරට දේශපාලන බලවේග රැසක් එක්රැස් කරන බව යි නිදහස් පක්ෂය සඳහන් කළේ.

වඩාත් සුවිශේෂී කරුණ වන්නේ මෙරට තීරණාත්මක සුළු පක්ෂවන මහජන එක්සත් පෙරමුණ, කොමියුනිස්ට් පක්ෂය සහ සමසමාජ පක්ෂය ආදී දේශපාලන බලවේග මේවන විටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකයන් වීම යි.

වෙනත් අයුරකින් පැවසුවහොත් එම සුළු පක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්ව ගොස් නැහැ.

ආණ්ඩුවෙන් ඉවත් වෙන්නලු

මෙවන් තත්ත්වයක් මත වර්තමාන ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත් විය යුතු බවට පක්ෂයේ මැති ඇමතිවරුන් මෙන්ම පක්ෂ සාමාජිකයින් ද පක්ෂයේ නායකත්වයට දැඩි ලෙස බලපෑම් සිදු කරමින් පවතින බව වාර්තා වෙනවා.

තමන් තව දුරටත් ආණ්ඩුවට සහය දිය යුතුය යන මතයෙහි සිටින්නේ මේවන විට අමාත්‍ය ධූරයක් දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රබලයෙකු පමණක් බව යි එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.

පක්ෂයේ පහළ මට්ටමෙන් පවා මේවන විට ඉල්ලීම් ඉදිරිපත් වී ඇත්තේ ආණ්ඩුවෙන් ඉවත් වීම නිදහස් පක්ෂයේ අනාගතයට සුදුසුවන බවට යි.

විශේෂයෙන් මේවන විට රටට බලපා ඇති අර්බුධ හමුවේ තවදුරටත් ආණ්ඩුවට සහය දෙමින් සිටියහොත්, ආණ්ඩුව සිදුකරන සියළු වැරදිවලට සිය පක්ෂයටත් වග කියන්නට සිදුවනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරු මෙන්ම සාමාජිකයන් ද පක්ෂ නායකත්වයට පෙන්වා දී තිබෙනවා.

Rate this item
(5 votes)
Last modified on Monday, 03 January 2022 09:20