April 19, 2024

ජනපතිට ගෞරව නාමයක්

මහා සංඝරත්නයේ ආශිර්වාදය පළ කරමින්, මහාවිහාරවංශික කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝසභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත “ශ්‍රී ලංකාධීශ්වර පද්මවිභූෂණ” ගෞරව නාමය පිරිනමයි. 

මාතෘ භූමියට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අධිපතිත්වය හා අවශ්‍යතාව මෙන්ම ජනාධිපතිවරයාගේ අතීත සහ වර්තමාන නොකැළැල් පැවැත්ම සංකේතවත් කරමින් අද (02) පස්වරුවේ කෝට්ටේ රාජමහා විහාරයේ දී සංවිධානය කෙරුණු විශේෂ පුණ්‍ය මහෝත්සවයේ දී කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝසභාව මෙම ගෞරව නාමය පිරිනමනු ලැබුවා. 

අදාළ සන්නස් පත්‍රය කියවීමෙන් පසු කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝසභාවේ මහානායක ආචාර්ය අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර මාහිමියෝ ජනාධිපතිවරයා වෙත “ශ්‍රී ලංකාධීශ්වර පද්මවිභූෂණ” ගෞරව නාමය පිරිනැමූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

පිළිගැනීමේ අනුශාසනාව එම මහා සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ වැඩබලන උප කුලපති මහාචාර්ය පූජ්‍ය නෙළුවේ සුමනවංශ නාහිමියන් සිදු කළා. 

රට ගොඩනැගීම සඳහා ගත වූ කාලයට වඩා වැඩි කාලයක් ඉතිරිව ඇති බැවින් ඉදිරි වසර තුන මැනවින් කළමනාකරණය කර රට ගොඩනැගීමට මහා සංඝරත්නයේ ආශිර්වාදය පිරිනමන බව මෙහිදී ප්‍රධාන අනුශාසනාව සිදුකරමින් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝසභාවේ ප්‍රධාන ලේඛකාධිකාරී, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ අංශාධිපති අග්ගමහා පණ්ඩිත මහාචාර්ය අතිපූජ්‍ය කොටපිටියේ රාහුල අනුනාහිමියන් පැවසුවා.

ජයග්‍රහණයක් ලැබූ විට එය බෙදාගැනීමට බොහෝ අය සිටිනවා. එහෙත් උත්සාහයක් වැරදි පරාජයක් ලැබූ විට එම වරද නායකයා වෙත ම පැවරෙනවා. මෙය සාමාන්‍ය තත්ත්වයක් බවත් දේශපාලනයේ දී ලබන අමිහිරි අත්දැකීම් හමුවේ නොසැලී ඉදිරි කාලයේ රට ගොඩනැංවීමට ශක්තිය ප්‍රාර්ථනා කරන බවත් කොටපිටියේ රාහුල හිමියන් සඳහන් කළා. 

මූලාසනයේ අනුශාසනාව සිදුකළ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝසභාවේ මහානායක ආචාර්ය අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර මාහිමිපාණන් වහන්සේ මෙම ආශිර්වාදාත්මක ගෞරව නාම ප්‍රදානය ජනාධිපතිවරයාගේ ජීවිතයට මහා ශක්තියක් සහ බලයක් වනු ඇතැයි පැවසුවා.

මහා සංඝරත්නයේ ආශිර්වාදය, ශක්තිය සහ ධෛර්යය ජනාධිපතිතුමා වෙත ලබාදීමට සැමවිටම ක්‍රියාකරන බව ද උන්වහන්සේ කියා සිටියා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 02 January 2022 23:32

Related items