April 23, 2024

ගෝඨාට හූ කිව්වා ද? ජනතාව කුපිත වූයේ මෙහෙමයි!

2022 වසර අදින් (01) ආරම්භ වූවා.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධූර කාලයේ තෙවැනි වසර ගෙවෙමින් පවතිද්දී යි.

ඔහු ජනාධිපති ධූරයට පත් වූයේ රටට මෙන්ම ජනතාවට ද “සෞභාග්‍යය” උදා කරන බවට පවසමින්.

කෙසේ වෙතත් මෑත ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුධයට රට මුහුණ දී ඇත්තේ ජනතාවගේ සිත් තුළ තිබූ සෞභාග්‍යයක සේයාවක් හෝ මකා දමමින්.

නිමක් නැති ගැටලු කන්ද 

ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුව විසින් රසායනික පොහොර තහනම් කිරීමෙන් ආරම්භ වූ ගැටළු සමුදාය අදවන විට අත ලඟ ආහාර හිඟයක් දක්වා වර්ධනය වී තිබෙනවා.

බොහෝ ගොවීන් වගා කටයුතු අතහැරි අතර තවත් ගොවීන්ට වගා කළ භෝගවල අස්වැන්න ලබා ගත නොහැකි වී ඇත්තේ රසායනික පොහොර එක රැයෙන් නතර කිරීමට ගත් තීරණය හේතුවෙන්.

පසුව රජයෙන් ලබා දුන් කාබනික දියර පොහොරවර්ග ද පුපුරා යාම සිදු වූ අතර එම පොහොරවල ඇති ඉවසිය නොහැකි දුර්ගන්ධයෙන් ද ගොවියාට පීඩා විඳින්නට සිදු වුණා.

ඉන් නොනැවතී සිය වගාවන් සුනඛයන්ගෙන් ද ආරක්ෂා කර ගැනීමට අදාළ පොහොර භාවිත කළ ගොවීන්ට මේවන විට සිදු වී තිබෙනවා.

පොහොර ගැටළුව පමණක් නොව වාහන ඇතුළු බොහෝ දෑ ආනයනය සීමා කිරීමට ආණ්ඩුව ගත් තීරණයන් හමුවේ ජනතාව දැඩි අපහසුතාවට පත් වූවා.

භාවිත කළ වාහන පමණක් වෙළඳ පොළෙහි පවතින අතර ඒවා ද අධික මිල ගණන් යටතේ යි අළෙවි වන්නේ.

එමෙන්ම රථ වාහන අමතර කොටස් ද හිඟ තත්ත්වයක පවතිනවා.

වෙළඳපොලෙහි පවතින අමතර කොටස්වලට ද අධික මිල ගණන් නියම වී තිබෙනවා.

පරිගණක සහ ජංගම දුරකතන අමතර කොටස් වෙත ද බලපා ඇත්තේ ඊට සමාන තත්ත්වයක්.

රට මුහුණ පෑ ගැටළු රාශිය අතර රසායනික ද්‍රව්‍ය පැටවූ නෞකාවකින් මෙරට ඉතිහාසයේ දරුණුතම පරිසර හානියක් සිදුවීම ද අමතක කළ නොහැකි යි.

රට තුළ විදෙස් සංචිතයන් දුර්වල වූ මොහොතක අදාළ නෞකාවෙන් නිසි පරිදි වන්දියක් හෝ ලබා ගැනීමට නොහැකිවනු ඇති බවට යි මත පළව ඇත්තේ.

කබලෙන් ලිපට

මෙවන් පසුබිමක ජීවන වියදම ඉහළ ගොස් රටවැසියන් කබලෙන් ලිපට වැටුණු අතර පසුගිය දා ඉන්ධන මිල ද ඉහළ දැමීමට ආණ්ඩුව ක්‍රියා කළෙන් ලිපට වැටුණු ජනතාව පිළිස්සෙන්නට පටන් ගත්තා.

ප්‍රශ්ණ පිට ප්‍රශ්ණ ජනතාවගේ හිස මත එසේ පැටවෙද්දී මුලුතැන්ගෙයට ද මාරයා පැමිණියේ ගෑස් සිලින්ඩරය තුළ සැඟවීගෙන යි.

ගෑස් පිපිරීම් විශාල වශයෙන් වාර්තා වූ අතර මේවන විට ද දෛනිකව ගෑස් අනතුරු නිරන්තරයෙන් සිදුවෙමින් පවතිනවා.

ඉන් ජීවිත කිහිපයක්ද බිළිගත් අතර සිදුවූ දේපළ හානි ද සුළුපටු නැහැ.

ගෑස් අනතුරුවලට ඇති බිය පැත්තක තබමින් ජනතාව ගෑස් සිලින්ඩර ලබා ගැනීමට වෙළඳසල් වෙත පැමිණියේ සිය කුසගින්න නිවාගන්නට වෙනත් විකල්පයක් නොමැති කමින්.

එහෙත් රට පුරා ගෑස් හිඟයක් හටගෙන ඇත්තේ ජනතාව මහමග පෝලිම්වල තබමින්.

ගෑස් පෝලිම් පමණක් නොව කිරිපිටි පෝලිම් ද දක්නට ඇත්තේ ඩොලර් අර්බුදයත් සමග කිරිපිටි ආනයනය නතර වීම හේතුවෙන්.

කෙසේ වෙතත් කිරිපිටි මිල යළිත් වැඩි කිරීමට තීරණය කළ අතර එනමුත් තවමත් වෙළඳපොළෙහි කිරිපිටි හිඟය පහව ගොස් නැහැ.

ජනපතිට ප්‍රසිද්ධියේ බැණවදියි

එකී නොකී ගැටළු රැසකින් ජනතාව දැඩි දුක් වේදනා විඳිමින් අන්ත අසරණ වී සිටින පසුබිමක ජනාධිපතිවරයා ඇතුළු සමස්ත ආණ්ඩුව වෙතම ජනතාව දැඩි අප්‍රසාදයකින් අදහස් දක්වන අයුරු දක්නට ලැබුණා.

එම පිරිසෙන් බහුතරය වත්මන් පාලකයින්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය භාවිත කළ පිරිස වීම ද විශේෂත්වයක්.

එමෙන්ම ඇතැම් පිරිස් සිය අප්‍රසාදය පළ කොට සිටියේ ආණ්ඩු පක්ෂයට පමණක් නොව, පාර්ලිමේන්තුවේ සිටින 225දෙනාටම යි.

සමාජය තුළ දේශපාලනඥයින් කෙරෙහි දැඩි පිළිකුළක් වර්ධනය වෙමින් පවතින මොහොතක පසුගිය දා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ද නිවේදනයක් නිකුත් කරමින් අදහස් පළ කළේ ජනතාව නොසන්සුන් විය හැකි බවත්, එය පුපුරා යාමේ ඉඩකඩක් පවතින බවත් සඳහන් කරමින්.

ගෝඨාට හූ කිව්වාද?

මෙවන් පසුබිමක පසුගිය දා නුගේගොඩ, මිරිහාන ප්‍රදේශයේ දේශීය කිරිපිටි අළෙවිසළක් ඉදිරිපිට වාර්තා වූ සිදුවීමක් මේවන විට සමාජයේ දැඩි කතාබහට ලක්ව තිබෙනවා.

අදාළ කිරිපිටි අළෙවිසැළ ඉදිරිපිට දින කිහිපයක් තිස්සේ ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටියත් පෙරේදා (30) වන විට එම පෝලිම් කෙටි වී තිබුණා.

එයට හේතු වී තිබුණේ ජනතාවට ටෝකන් ක්‍රමයකට කිරිපිටි ලබා දීමට එම ආයතනය පියවර ගැනීම යි.

ඒ අනුව එම අළෙවිසැළෙන් කිරිපිටි ලබා දෙන්නේ ඊට පෙර දින ටෝකන් ලබා ගත් පිරිසට පමණක් බව වාර්තා වුණා.

එහෙයින් එම ක්‍රමවේදය හේතුවෙන් තමන් තවදුරටත් අපහසුතාවටත් රස්තියාදුවටත් පත්වන බවට යි ජනතාව මැසිවිළි නැගුවේ.

මෙලෙස ටෝකන් ක්‍රමයකට ගොස් කිරිපිටි පෝලිම හීන කිරීමට හේතු වී තිබුණේ 29 වැනි දා එම ස්ථානයේ වූ සිදුවීමක් බව යි පැවසෙන්නේ.

එයාට හූ කිව්වා කියලා අපි පළිද?

ඇතැම් ජනතාව පවසන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම ස්ථානයෙන් ගමන් ගන්නා විට පෝලිමෙහි සිටි පිරිසක් ජනාධිපතිවරයාට එරෙහිව “හූ” හඬ නගා ඇති බවයි.

කාන්තාවක් ඒ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දැක්වූයේ මෙලෙසින්.

“මෙතන පෝලිම තිබිච්ච එක නැති කළේ ඊයේ ජනාධිපතිට හූ කියපු හින්දා. නැත්තම් පාඩුවෙ මිනිස්සු කිරි අරන් ගියා. අද ආවේ අවුරුදු අසූවක වයසක ආච්චි කෙනෙක් වෙනුවෙන්. එයා බෙහෙත් බොන්න ඉස්සරවෙලා කිරි එකක් බොනවා. ඒ කිරි එක බොන්න ඕන නිසා තමයි මේ ආවේ කිරි අරන් යන්න”

එම ස්ථානයට විශාල පොලිස් කණ්ඩායමක් පැමිණ පෝලිම විසුරුවා හැර ඇති බව තවත් පුද්ගලයෙකු ප්‍රකාශ කර සිටියා.

“ඊයේ මෙතන පොලිසියෙන් ඇවිල්ලා ලොකු ප්‍රශ්ණයක් වුණා. මං හිතන්නෙ රජයෙන් ඒකත් නැවැත්තුවාද දන්නෑ. පොලීසියෙන් සීයක් විතර ඇවිල්ලා. නියෝජ්‍ය පොලිස්පතිතුමා ආවලු. ඇවිල්ලා කිව්වලු පාරවල් බ්ලොක් වෙනවා, ජනාධිපතිතුමා යනවා, ඒ නිසා දෙන්න එපා කියලා. ඒ කට්ටිය ඡන්දෙ දීපූ හැට නම ලක්ෂයට නෙවෙයි සළකන්නේ. එයාලට ඡන්දෙට වියදම් කරපු ජාවාරම්කාරයින්ට ”

එම ස්ථානය ඉදිරිපිට මාර්ගයේ ජනාධිපතිවරයා ගමන් ගැනීම හේතුවෙන් කිරිපිටි පෝලිම ඉවත් කිරීමට පොලීසිය කටයුතු කර ඇති බව තවත් පුද්ගලයෙකු පවසා සිටියා.

“ජනාධිපතිතුමා යනවා කියලා පාරේ පිටි දෙන එක නවත්තනවා නම් ඒක ලෝක අසාධාරණයක්. ළමයි ගැන හිතන්න ඕන. රටේ ප්‍රධාන පාලකයා හිතන්න ඕන අහිංසක දරුවෝ ගැන”

මේ අතර තවත් පුද්ගලයෙකු මාධ්‍ය වෙත පවසා සිටියේ කිරිපිටි පෝලිමෙහි සිටි පුද්ගලයින් ජනාධිපතිවරයාට “හූ” හඬ නැගීම හේතුවෙන් අදාළ සමාගමට අයත් කිරිපිටි ලොරි රථය පොලීසියට රැගෙන ගොස් ඇති බව යි.

ඒ නිසා වෙළඳසල වෙත කිරිපිටි ලැබීම ප්‍රමාද වූ බව ද ඔහු පෙන්වා දුන්නා.

“මිරිහානේ එතනින්නේ යන්නේ. හූ කියලා. පැල්වත්ත ලොරිය පොලිසියට අරන් ගිහිල්ලා. දැන් තමයි එව්වේ. මෙතන නමයට පිටි දෙනවා. අද මේ පිටි දෙන වෙලාව බලන්න. එයාට හූ කිව්වා කියලා. ඉතින් ඒකට අපි පළි ද?”

"මිනිස්සු මැරෙනවා - එයා තිරුපති යනවා"

කිරිපිටි පෝලිමෙහි රැඳී සිටි තවත් අයෙකු ප්‍රකාශ කළේ ජනතාව පෝලිම්වල මියඇදෙද්දී රටෙහි පාලකයන් පවුල් පිටින් ලක්ෂ ගණනින් වියදම් කොට තිරුපති යන බව යි.

“අපි සෞභාග්‍යය දකිනවා හොඳට. ඊයේ ගෑස් පොලිමේ හිටියා පැය තුනක් විතර. ගෑස් එකක් හම්බවුණේ නෑ. මිනිස්සු මේකෙ පෝලිමේ ඉන්නවා. මැති ඇමතිවරු රට සවාරි යනවා. මේක දාන්න. මං බය නැතුව කියන්නේ. රටේ ලොකු එක්කෙනා ලක්ෂ ගණන් සල්ලි දීලා හයර් කරගෙන තිරුපති යනවා. පවුල් පිටින්. මිනිස්සු මෙහෙ පෝලිමේ මැරෙනවා. මම කිරි පෝලිමේ. මගෙ ගෑණි ගෑස් පෝලිමේ. ළමයා තව පෝලිමක. මොනවද මේ? මේගොල්ලෝ මේ රට ගෙනියන හැටි”

මෙවන් වාතාවරණයක් තුළ මිරිහානේ පිහිටි එම අළෙවිසළ වෙත පශූ සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන, කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා ද ඊයේ (30) පැමිණීම විශේෂත්වයක්.

ඔහු පවසන්නේ මෙම ස්ථානයේ තිබූ පෝලිම දුටු ජනාධිපතිවරයා ඒ පිළිබඳව පෞද්ගලිකවම අවධානය යොමු කර ඇති බව යි.

ජනාධිපතිවරයාට “හූ” හඬ නැගීමක් සිදුව ඇත්දැයි මාධ්‍යවේදීන් ප්‍රශ්ණ කළ විට රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ එවැන්නක් සිදුව නොමැති බව යි.

අපේ විරුවාට ජයවේවා

මේ අතර ගෑස් පෝලිම්වලින් ද ජනාධිපතිවරයාට දැඩි විරෝධයක් එල්ල වීමට පටන් ගෙන තිබෙනවා.

එක් පුද්ගලයෙකු පවසා සිටියේ “රටේ පාලකයින්ගේ වැරදි තමයි ඉතින්. හරියට ජනාධිපතිතුමෙක් හිටියනම් ඔහොම දෙයක් වෙන්නෙ නෑනෙ. කවදාවත් බලාපොරොත්තු වුණේ නෑ” යනුවෙන්.

ගෑස් සිලින්ඩරයක් ඔසවාගත් තවත් පුද්ගලයෙකු මාධ්‍යවේදීන් දෙසට පැමිණියේ  “ජයවේවා” යැයි හඬ නගමින්.

ජය වෙන්නේ කාට ද යනුවෙන් මාධ්‍යවේදීන් විමසා සිටි විට ඔහු මෙලෙස ප්‍රකාශ කළා.

“ජය වෙන්ට තියෙන්නේ අපේ විරුවාට. අපේ විරුවා.. ජයවේවා”

බැලුම්මහර ප්‍රදේශයේ ගෑස් පෝලිමක සිටි තවත් පුද්ගලයෙකු මෙලෙස අදහස් පළ කර සිටියා.

“ඍජු තීරණ ගන්න පුලුවන් රටේ නායකයෙක් ඉන්න ඕනේ. එතකොට තමයි හරි ඇමති කෙනෙක් දාන්නේ. කෙලින් තීරණ ගන්න ඕනේ මිනිස්සු මේ වගේ රස්තියාදු නොකර. රටට නායකයෙක් පත්කරගත්තේ රටක රජෙක් විදිහට හරියට පාලනය කරගන්න. එහෙම නැතුව උගත්කමක් නැති ඇමතිලාට රට භාරදුන්නාම, කෙලින් තීරණ ගන්න බෑ. වෙන්නෙ මේක යි. අතේ සල්ලි තියාගෙන අපිට ගෑස් එක ගන්න නෑ අද. අපි වෙන වැඩ ඔක්කොම දාලා එන්න ඕනෙ පෝලිමට. මේකද අපි බලාපොරොත්තු වුණ සෞභාග්‍යයේ?”

“අයියලා මල්ලිලා රට කෑවා”

මාතර ප්‍රදේශයේ ද ගෑස් ලබාගැනීම සඳහා ජනතාවට සිදු වූයේ පෝලිම්වල රැඳී සිටින්නට යි.

එම පෝලිම්වල සිටි පුද්ගලයින් ද පාලකයින්ට දැඩි ලෙස දෝශාරෝපණය කර සිටියා.

“පැනික් වෙනවා. අරුන් ඇවිල්ලා පැනික් වෙලා අපිට කරපු දේවල්. බලු වැඩ කරේ අරුන්. දැන් ජෙට් එකක් අරන් තියෙනවා. අපි බය නෑ. උන්ට චන්දෙ දීලා අපි මේ කනවා දැන් පරිප්පු”

තවත් අයෙකු ප්‍රකාශ කර සිටියේ රාජපක්ෂලාට බැරිනම් රට වෙනත් අයෙකුට භාර දී යා යුතු බව යි.

“දැන් මේ පෝලිම් යුගය ඇති කළේ මේ ආණ්ඩුව. අපිත් වැඩ කරලා තියෙනවා. වැඩක් නෑ. රාජපක්ෂලාට බැරිනම් මේවා කාටහරි භාර දීලා යන්න ඕන. අයියලා මල්ලිලා කාලා කාලා කාලා රටත් කාලා යුගදනවි එකත් විකුණලා අපි මේ පෝලිම්වල ඉන්නවා. මේක සහගහන අපරාදයක්. මේ ආණ්ඩුව අපි පෙරළන්න ඕන”

“හෙණ ගහන්න ඕන හොර යක්කුන්ට”

ගාල්ල ප්‍රදේශයේ ගෑස් පෝලිමෙහි සිටි පිරිස ද පාලකයින්ට ශාප කරමින් අදහස් පළ කළා.

“රටක් පාලනය කරන පාලකයෝ දන්නැද්ද මේ මිනිස්සු කන්නෙ බොන්නෙ කොහොමද ගෑස් නැද්ද කියලා. පුදුම පාලකයෝ ටිකක්නේ අද මේ රටේ ඉන්නේ. මුන්ට හෙණ ගහන්න ඕනේ. හොර යක්කුන්ට”

තවත් පුද්ගලයෙකු මෙලෙස අදහස් දැක්වූවා.

“රට කරන්න බැරි නම් දීලා යන්නයි කියන්න. ඒගොල්ලොන්ගෙ පුතාලා පාවිච්චි කරන සෙරෙප්පු දෙකක් කීයද? මේ මිනිස්සුන්ට ගෑසුත් නෑ. ඊයේ ඉඳලා මේ මිනිස්සු ඉන්නේ”

හොඳටම කිරිල්ල

මේ අතර බොරැල්ල ප්‍රදේශයේ ද ගෑස් පෝලිමේ සිටි පිරිස් වත්මන් පාලකයින්ට දැඩි සේ දෝශාරොපණය කළා.

“ජනාධිපතිතුමා හරි අගමැතිතුමා හරි ඉන්න මොකෙක් හරි කමක් නෑ මේක බලපල්ලා. උඹලා පෝලිම්වල ඉන්නෑනේ. ඡන්දේ දුන්න අපි තමයි පෝලිම්වල ඉන්නේ. වෙන එක බල්ලෙක්වත් පෝලිම්වල ඉන්නෑ”

තවත් පුද්ගලයෙකු දැක්වූයේ මෙවන් අදහසක්.

“බොම්බයි ලූණු කීයද, අල කීයද කියලා අහපු එවුන් කෝ අද? දැන් පේන්නවත් නෑ. ඌ තමයි හොඳටම කරේ. දැන් පේනවා නේද කරපු කිරිල්ල?”

Rate this item
(2 votes)
Last modified on Friday, 31 December 2021 23:30

Related items