April 24, 2024

කිරි තේ විකිණීම අත්හිටුවයි - කොටුවේ හෝටල් 3000ක් ගැනත් තීරණයක් ගනියි (AUDIO) Featured

December 31, 2021

කිරි තේ අළෙවිය වහාම නවතා දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා කියා සිටියේ කිරිපිටි මිල වැඩි කිරීමත් සමග තමන් දැඩි අර්බුධයකට ලක්ව ඇති බව යි.

කිරි තේ එකක මිල මේවන විට පවතින්නේ රුපියල් 85 මට්ටමේ යි.

තවදුරටත් එය ඉහළ නැංවුවහොත් එම මිල පාරිභෝගිකයින්ට දරාගත නොහැකිවනු ඇති බවයි එම සංගමය පවසන්නේ. 

එබැවින් පවතින මිලට වඩා කිරි තේ එකක මිල තවදුරටත් වැඩි කිරීමට තමන්ට නොහැකි බවත්, එම නිසා මෙලෙස කිරි තේ අළෙවිය නවතා දමන බවත් අසේල සම්පත් මහතා සඳහන් කළා.

මෙම තත්ත්වය හටගත්තේ ඊයේ (30) දින ආනායනික කිරිපිටි මිල යළිත් වැඩි කිරීමට කිරිපිටි ආනායනකරුවන්ගේ සංගමය තීරණය කිරීමත් සමග යි.

කොටුවේ කෑම කඩ 3000ක් වැසී යයි

මේ අතර ගෑස් සහ කිරි පිටි නොමැති වීම හේතු කොටගෙන කොටුව සහ පිටකොටුව ප්‍රදේශවල තේ කඩ සහ ආපනශාලා 3000කට වැඩි ප්‍රමාණයක් වසා දමා ඇති බව වාර්තා වෙනවා.

පිටකොටුව එක්සත් ජාතික ස්ව්‍යංරැකියා වෙළඳ ව්‍යාපාරිකයන්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ එම වෙළඳසැල්වලට අමතරව කොළඹ දිස්ත්‍රික්කය තුළ පමණක් ආපනශාලා සහ ආහාර අළෙවිසැල් 80%කට වැඩි ප්‍රමාණයක් මේවන විට වසා දමා ඇති බව යි.

කිරිපිටි, ගෑස් මෙන්ම එළවළු හිඟය ද මෙයට බලපා ඇති බව යි එම සංගමයේ සභාපතිවරයා පවසන්නේ.

පිටකොටුව එක්සත් ජාතික ස්ව්‍යංරැකියා වෙළඳ ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති ප්‍රදීප් චාල්ස් මහතා වැඩිදුරටත් සඳහන් කළේ ගෑස් පිපිරේවි යැයි හටගෙන ඇති බිය නිසා ද ආහාර වෙළඳසැල් 6%ක පමණ ප්‍රමාණයක් වසා දමා ඇති බව යි.

සමාගම එපා කියද්දී ඇමතිට ඕනෑ වෙයි

මෙවන් පසුබිමක දේශීය කිරිපිටි සමාගම්වන මිල්කෝ සහ පැල්වත්ත සමාගම් සඳහන් කළේ මේ මොහොතේ දී සිය කිරිපිටි මිල ඉහළ නැංවීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව යි.

සිය ආයතනය තුළ නිෂ්පාදනය කෙරෙන දියර කිරිවල මිල ද ඉහළ නැංවීමේ තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව ද මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පවසා සිටියා.

මිල්කෝ සමාගම එලෙස ප්‍රකාශ කරද්දීත් කිරි, බිත්තර, ගොවිපොළ හා පශූ සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා පවසන්නේ දියර කිරි මිල ද ඉහළ නැංවිය යුතු බවට යි.

එමෙන්ම ලෝක වෙළඳපොළෙහි කිරි මිල වැඩි වීමත් සමග මෙරට කිරිපිටි මිල ද වැඩි වීම වැළැක්විය නොහැකි බව යි ඔහු ප්‍රකාශ කළේ.

69 ලක්ෂය කෝප වෙයි

මිල ගණන් වැඩි කිරීමට ආනායනකරුවන් තීරණය කළත් වෙළඳපොළේ හටගෙන ඇති කිරිපිටි හිඟය තවමත් ඒ අයුරින්ම පවතිනවා.

ඒෂියන් මිරර් වාර්තාකරුවන් සඳහන් කළේ ආනයනික කිරි පිටි මේවන විටත් වෙළඳපොළ තුළ නොමැති බව යි.

දේශීය කිරිපිටි වෙළඳසැල් ඉදිරිපිට දිගු පෝලිම්වල ජනතාව සිටින අයුරු තවමත් දක්නට ඇති අතර එලෙස පෝලිම්වල සිටින ජනතාවට ද අවසානයේ හිස් අතින් හැරී ඒමට සිදුවූ අයුරු ද බොහෝ විට දක්නට ලැබුණා.

එමෙන්ම මෙරට පාරිභෝගිකයින් බොහෝ දෙනා භාවිත කරන්නේ ආනායනික කිරිපිටි වීමත්, දේශීය කිරිපිටි සමාගම්වලට ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දිය නොහැකි වීමත් හේතුවෙන් කිරිපිටි හිඟය උග්‍ර වී තිබෙනවා.

මේ අතර පවතින උග්‍ර ආර්ථික අර්බුධය හමුවේ එදිනෙදා ආහාර වේල සපයා ගත නොහැකි වී සිටින තමන් එම ආහාර වේල් වෙනුවට කිරි තේ පානය කොට ජීවත් වූ බවත්, වෙළඳපොළේ කිරි පිටි නොමැති වීමෙන් එය ද සිදුකරගත නොහැකිව අසරණ වී ඇති බවත් ජනතාව පවසනවා.

ඇතැමුන් රජය ආමන්ත්‍රණය කරමින් ප්‍රකාශ කළේ කිරිපිටිවලට වස කවලම් කොට තමන්ට දෙන ලෙසට යි.

එමෙන්ම වත්මන් පාලක පක්ෂයවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සිය ඡන්දය භාවිත කළ බොහෝ දෙනෙකු කිරිපිටි පෝලිම්වල සිට ඒ පිළිබඳ කලකිරීමෙන් කතා කරන අයුරු ද දක්නට ලැබුණා.

වැඩි වූ මිල

නවතම මිල සංශෝධනයට අනුව ආනායනික කිරිපිටි කිලෝවේ පැකට්ටුවක මිල රුපියල් 150කින් ඉහළ නංවා තිබෙනවා.

ඒ අනුව කිරි පිටි කිලෝවේ පැකට්ටුවක නව මිල රුපියල් 1345ක් බවට පත්වනු ඇති.

ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල ඉහළ නංවා ඇත්තේ රුපියල් 60කින්.

එම පැකට්ටුවක මිල රුපියල් 540ක් දක්වා ඉහළ යනු ඇති බව සඳහන්.

Rate this item
(0 votes)
Last modified on Friday, 31 December 2021 12:23