April 20, 2024

නොමිලේ ගමන් ඉවරයි - පාඩුව මිලියන 25යි

December 29, 2021

ඉල්ලීම් 25ක් මුල් කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය දින 5ක් පුරා වෘත්තීය ක්‍රියාමාර්ගයක නියැලුණු අතර මේ හේතුවෙන් පසුගිය දින කිහිපයේ දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කෙරුනේ ද නැහැ.

ඉන් රජයට රුපියල් මිලියන 25ක පමණ අලාභයක් ද සිදුව තිබු අතර බලධාරීන් සමඟ පැවති සාකච්ජාවකින් පසු වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හැරීමට වෘත්තීය සමිති තීරණය කලේ ඊයේ පස්වරුවේයි.

ඒ අනුව අද පෙරවරුවේ දුම්රිය ස්ථාන අසල දක්නට ලැබුණේ මෙවන් තත්වයක්. දුම්රිය මගීන් මෙලෙස අදහස් දක්වා සිටියා,

"ඊයේ , පෙරේදා නම් ටිකට් ඕනේ වුණේ නැහැ. අද නම් ගත්තා."

"දවස් දෙක තුනක් නිකන් ගියා අද නම් ටිකට් අරන් ආවා. චාන්ස් එක ඉවරයි."

"අපිත් අද හිතාගෙන ආවේ නිකන් කියලා තමයි."

"ටිකට් අපිට දුන්නේ නැහැ එහෙ ස්ටේෂන් වලින්. අදත් දුන්නේ නැහැ."

"ටිකට් දුන්නා. අද නම් හොඳයි. ටිකට් දෙන එක හොඳයි. නැත්තම් මේ රට තවත් අගාධයකට යන්නේ."

"ටිකට් එකක් ගත්තා අවුලක් නැහැ. හොඳයි හොඳයි. ටිකට් නැත්තම් හොඳයි."

"නිකන් ඕන නැහැ කිසිදෙයක්. අවශ්‍ය දේට වියදම් කරනවා."

"අපිටම තමයි ගෙවන්න වෙන්නේ. නිකන් ගෙවපුවට බඩු මිල වැඩි කරයි."

"අපෙන්ම තමයි පාඩුව අල්ලන්නේ ඉතින්."

"මිලියන ගානක් පාඩු වෙන්න කලින් ඉතින් තීරණ වලට එන්න ඕනේ. රජයක් තියෙනවා, මැති ඇමතිවරු ඉන්නවා. අපි වගේ මේ කට්ට කන මිනිස්සුන්ගෙන් තමයි අන්තිමට ඕක අය වෙන්නේ."

"ආණ්ඩුව ඉතින් මේවා ගැන බලන්න ඕනේ."

"මේවා කවදා හරි හරි යනකම් අපිත් බලාගෙන ඉන්නවා."

"කියන්න කෙනෙක් නැහැ. හොයන්න කෙනෙක් නැහැ. බලන්න කෙනෙක් නැහැ. මොකෙක්වත් නැහැ. එක එකාට ඕනේ ඕන විදියට වැඩ."

මේ අතර දුම්රිය ස්ථානාධිපතිවරුන් දින 6 තිස්සේ සිදු කල වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ඊයේ (28) දින මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කිරිමත් සමග උඩරට දුම්රිය මාර්ගයේ අද (29) දින ධාවනය කල දුම්රියන් වල ධාවනය කිරිමට මගීන්ගේ අඩුවක් පවතින බව හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු පැවසුවා.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩවර්ජනය හේතුවෙන් දුම්රියෙන් ගමන් කිරීමට ප්‍රවේශපත්‍ර නිකුත් නොකල නිසා උඩරට මැණිකේ, පොඩි මැණිකේ සහ රාත්‍රි තැපැල් දුම්රියෙන් ශ්‍රි පාදය කරුණා කිරිමට සහ වෙනත් ගමන් බිමන් යාමට හැටන් දුම්රිය ස්ථානයට විශාල මගින් පිරිසක් පැමිණි බවත් අද (29) දින සිට මගීන්ගේ විශාල අඩුවක් දක්නට ලැබෙන බවයි හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරින් කියා සිටියේ.

මේ අතර බස් ගාස්තු ඉහළ දමන ආකාරය පිළිබඳ අවසන් තීරණය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. 

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පසුගිය සතියේ පැවැති සාකච්ජාවකදී ජාතික ගමනාගමන කොමිසමට දැනුම් දුන්නේ ඉහල දැමෙන බස් ගාස්තු වලට අදාලව සකස් කෙරෙන නිර්දේශ ලබා දෙන ලෙසයි. 

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 2කින් , අනෙක් ගාස්තු 7.5% - 10% අතර මිලකින් ඉහළ දැමීමටත් මේ වන විට යෝජනා වී තියෙනවා.

කෙසේවෙතත් බස් සංගම් කිහිපයක් එම තීරණයට විරෝධය පළ කරන අතර ඔවුන් අපේක්ෂා කරන්නේ ඊට වැඩි ගාස්තු සංශෝධනයක්.

මේ සම්බන්ධයෙන් අවසන් තීරණය ගනු ලබන්නේ අද පස්වරුවේ බස් සංගම් සහ බලධාරීන් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා සමඟ පැවැත්වෙන සාකච්ජාවෙන් අනතුරුවයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 29 December 2021 21:23