April 20, 2024

මගීන් නිකන් ගිය පාඩුව මිලියන 20ක්

December 28, 2021

ඉල්ලීම් 25ක් මුල් කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කලේ පසුගිය 23 වනදායි.

අතිකාල දීමනා ක්‍රමවේදය සංශෝධනය කිරීම, වසර ගණනාවක් ඇනහිට ඇති උසස්වීම් ක්‍රියාත්මක කිරීම, දුම්රිය සංඥා ක්‍රමවේද දෝෂ නිවැරදි කිරීම, දුම්රිය ධාවන කාලසටහන් යතාවත් කිරීම, දුම්රිය ස්ථාන සහ නිල නිවාස නිසි අලුත්වැඩියා කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් ඇතුළු කරනු එම ඉල්ලීම් වුණා.

ඒ අනුව දුම්රිය ස්ථානාධිපතිවරුන් සාමාන්‍ය මගී ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සහ පාර්සල් භාර ගැනීමේ කටයුතු වලින් ඉවත් වීමට පියවර ගෙන තිබෙනවා.

මේ හේතුවෙන් මගීන්ට නොමිලයේ දුම්රියේ යාමට ඉකුත් 23 වනදා සිට හිමි වී තිබුණා.

අද දිනයේත් දුම්රිය ස්ථානාධිපතිවරුන් සාමාන්‍ය මගී ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ රාජකාරි වලින් ඉවත්ව සිටියා.

මේ අතර, ඔවුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 20ක පමණ අලාභයක් සිදුව ඇති බවයි දුම්රිය සාමාන්‍යධිකාරී ධම්මික ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ.

එසේම අදාළ මුදල වෘත්තීය සමිතිවලින් අය කර ගැනීමට අවශ්‍ය නීතිමය කටයුතු සිදු කරමින් සිටින බව ද දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් සදහන් කළා.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා කුමන්ත්‍රණකාරී ලෙස කටයුතු කරන බව ප්‍රකාශ කළ දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා කියා සිටියේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් දැඩි කරන බවයි.

මේ අතර, දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ඇතැම් ඉල්ලීය තම සංගමයට ද අහිතකර ලෙස බලපාන බැවින් ඒවාට විසදුම් ලබාදුනහොත් ඉදිරියේදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යොමු වන බවයි දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ මහතා ප්‍රකාශ කළේ.

එසේම පාර්සල් ප්‍රවාහනයෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඉවත්වීම නිසා තැපැල් දෙපාර්තමේන්තුවට දැඩි ලෙස පාඩු සිදුවී ඇති බැවින් කඩිනමින් ඔවුන්ගේ ගැටළුවලට විසදුම් ලබාදෙන ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැදවුම්කරු චින්තක බණ්ඩාර මහතා කියා සිටියේ.

දුම්රිය නොමිලේ යාමට අවස්ථාව හිමි වීම සම්බන්ධයෙන් මගීන් දැක්වූයේ මෙවැනි අදහසක් 

"ටිකට් ගන්න විදිහක් නැහැනේ. කවුන්ටරය වහලානේ."

"හොඳයි ඉතින් කොහොම හරි යන්න තියෙන එක ලොකු දෙයක්නේ."

"මේ විදියට මේ රට ගියෝතින් ඇත්තටම ජිවත් වෙන්න හරිම අමාරුයි."

"පරිපාලනයේ දෝෂයක් තියෙන්නේ. තම තමන්ගේ වගකීම් ඉෂ්ඨ කරන්න ඕනේ. රාජකාරි කරනකොටත් ඒ රාජකාරි කරන්න ඕනේ. පඩියක් ගන්නවනේ."

"කිසිම වියදමක් නැහැ. හොඳටම තියෙනවා."

"ටිකට් නම් අවශ්‍ය නැහැ. මේ දවස්වල ටිකට් ගන්නේ නැහැ."

"කමක් නැහැ. වරදක් නැහැ. අපිට හම්බ වුණ චාන්ස් එකක් කියලයි අපි හිතන්නේ."

"අපරාදේ රට තවත් වැටෙනවා මේකෙන්. ආදායමක්නේ රටට නැතුව එන්නේ."

"ආතල් එක ගන්න තියෙන්නේ. බදුල්ලේ ගිහිල්ලා අනිද්දා එනවා. ඉස්සරහට හොඳ හොඳ චාන්ස් දෙයි වගේ."

"සුපිරිනේ හොඳටම කරනවා. යාපනයට වුනත් ගිහින් එන්න පුළුවන්."

"කිසිම අවුලක් නැහැ. ආවා, නැග්ගා, ගියා."

"ටිකට් නැහැ. අපි 3 වෙනි පන්තියේ නිකන් යන්නේ."

"රාජ්‍ය දේපල විනාශ කිරීමේ පනත යටතේ මේ ස්ථානාධිපතිවරුන්ට නඩු දාන්න ඕනේ. මේ රට අගාධයට පත් වෙලා තියෙන මොහොතක මේ වගේ අධම ක්‍රියාවක් කරන එක විශේෂයෙන්ම වටින්නේ නැහැ."

"රජයට පාඩුවක්. ආණ්ඩුවට පාඩුවක්. ආර්ථිකයට ඊට වඩා ලොකු ප්‍රශ්නයක්."

"මිනිස්සුන්ට සහනයක් දෙන එක මේක නෙවෙයි සහනේ. මේ කරන දේ රටට ලොකු හානියක්."

"කට්ටියට කියන්න තියෙන්නේ දැන්ම යන්න තියෙන පැතිවල ගියා නම් හරි කියලා."

"ආණ්ඩුවට ආදායම් හොඳටම තියෙනවා. ඒ නිසා අවුලක් නැහැ."

මේ අතර දුම්රිය ස්ථානාධිපතවරුන්ගේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් දුම්රියෙන් ගමන් කිරිමට ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරන නිසා සතියේ වැඩ කරන දින වලත් හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාදස්ථානය කරුණා කිරිමට විශාල පිරිසක් හැටන් දුම්රිය ස්ථානයට පැමිණෙන බව හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු පැවසුවා.

උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය වන උඩරට මැණිකේ, පොඩි මෑණිකේ සහ රාත්‍රි තැපැල් දුම්රියෙන් මෙසේ  වන්දනාකරුවන් විශාල පිරිසක් පැමිණෙන බවත් , එසේ පැමිණෙන වන්දනාකරුවන් ශ්‍රි පාදස්ථානය කරුණා කර ආපසු දුම්රියෙන්ම නොමිලේ සිය ගම් බලා යන බවයි එම නිලධාරියා කියා සිටියේ.

මේ දිනවල විදේශිය සංචාරකයින්ද විශාල පිරිසක් සංචාරය සදහා හැටන් දුම්රිය ස්ථානයට පැමිණෙන බවත් එසේ පැමිණෙන විදේශිය සංචාරකයින්ද ප්‍රවේශ පත්‍ර නොමැතිව දුම්රියෙන් පැමිණෙන බවයි එම නිලධාරියා කියා සිටියේ.

මේ අතර දුම්රියෙන් ශ්‍රී පාදස්ථානය වන්දනා කිරිමට පැමිණෙන වන්දනාකරුවන් හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා ධාවනය කරවන ලංගම බස් රථ වලින් විශාල අදායමක් හැටන් ලංගම ඩිපෝවට ලැබෙන බව හැටන් ඩිපෝවේ නිලධාරියෙකු පැවසුවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 28 December 2021 14:54