March 29, 2024

අජන්තාගෙන් කුණු කතාවක් - ජනපතිට යැවූ ලිපි ගැනත් හෙළිකරයි (AUDIO)

December 28, 2021

සුවිසල් කසළ කඳු කිහිපයක්ම මෙරට පවතින පසුබිමක විදෙස් රටවල්වලින් කොම්පෝස්ට් පොහොර ආනයනය කිරීම හෝ, ඒ සම්බන්ධ නෞකාවලට වන්දි ගෙවීම හෝ සිදු කිරීමට අවශ්‍ය නොමැති බව ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය පෙන්වා දෙනවා.

ඇය මෙම අදහස් පළ කළේ ඊයේ (27) රාත්‍රියේ විකාශය වූ සජීවී රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්.

මීතොටමුල්ල, බ්ලූමැන්ඩල්, කරදියාන සහ අරුවක්කාලු ආදී නම ගිය කසළ කඳු මෙරට පවතින බව පෙන්වා දෙන ඇය වැඩිදුරටත් අවධාරණය කරන්නේ සැබෑවටම කොම්පෝස්ට් පොහොර අවශ්‍ය නම් එම පොහොර අවශ්‍යතාවය එකී කසළ කඳුවලින්ම සපුරාලිය හැකි බව යි.

ජනපතිට යැවූ ලිපි

ආචාර්යවරිය අනාවරණය කළේ ඇය මේ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පුද්ගලිකව ලිපි දෙකක් ද යැවූ බව යි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත් වීමෙන් සුළු කාලයකට පසු තමන් එම ලිපි දෙක යැවූ බව ද ඇය සඳහන් කර සිටියා.

මෙම කසළ කඳු යොදාගෙන කොම්පෝස්ට් නිපදවිය හැකි බවත්, එම කොම්පෝස්ට් නිෂ්පාදන ක්‍රියාවලිය සහ අනෙකුත් ප්‍රතිචක්‍රීයකරණ කටයුතු ආදී සියල්ල වෙත සිය සහය ලබා දීමට සූදානම් බවත් තමන් එම ලිපි හරහා ජනාධිපතිවරයාට දන්වා යැවූ බව ද ඇය ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා තමන් හට කිසි දිනෙක පිළිතුරු ලිපියක් හෝ එවීමට කටයුතු නොකළ බව ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය පවසනවා.

තවමත් පරක්කු නෑ

තමන්ට පිළිතුරු නොඑවීම සම්බන්ධ කිසිදු ගැටළුවක් නොමැති බව පවසන ඇය අවධාරණය කළේ එම කටයුත්ත ආරම්භ කිරීම සඳහා මේවන විට ද ප්‍රමාද නොමැති බව යි.

ගොවීන් හට කාබනික පොහොර ලබා දෙන්නේ නම් එහි දී ගුණාත්මකබවින් යුතු කොම්පෝස්ට් පොහොර ලබා දිය යුතු බව යි ඇය පෙන්වා දෙන්නේ.

ගොඩ ගැසී ඇති කසළ කඳු රටට මහත් විනාශයක් ගෙන දෙනවා පමණක් නොව එසේ කසළවලින් වැසී ඇත්තේ මෙරට ඉතා වටිනා බිම් කොටස් බව ද ඇය සඳහන් කළා.

රටට වටින්නැති රටේ දැනුම

අජන්තා පෙරේරා ආචාර්යවරිය තවදුරටත් පැවසූවේ කසළ කඳු, ගුණාත්මකබවින් උසස් පොහොර බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ ඉහළ දැනුමින් යුතු ආචාර්ය මහාචාර්යවරු රැසක් ද මෙරට තුළ සිටින බව යි.

උදාහරණයක් ලෙස වර්තමාන ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ද වන මහාචාර්ය තිස්ස විතාරණ මහතාගෙන් මෙවන් වැඩසටහනක දී විශේෂඥ දැනුම ලබාගත හැකි බව ද පෙරේරා මහත්මිය පෙන්වා දුන්නා.

මෙරට කසළවලින්, මෙරට දැනුමම යොදාගෙන එවැනි වැඩසටහනක් මෙරටදීම ආරම්භ කිරීමට හැකි වුවහොත් නොමිලේ වුව ද ගොවියන්ට ගුණාත්මක බවින් උසස් පොහොර ලබා දීමට හැකිවනු ඇති බව ද ආචාර්යවරිය සඳහන් කර සිටියා.

රටට බලපා ඇති ගැටළුවලට විසඳුම් රට තුළම පවතින නමුත් අවාසනාවකට තමන් වැනි අයට සවන් දීමට කිසිවෙකු නොමැති බව යි ඇය කණස්සලු සහගතව කියා සිටියේ.

ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය අදහස් දැක්වූ අයුරු රැගත් හඬපටය පහතින්..

Rate this item
(0 votes)
Last modified on Tuesday, 28 December 2021 12:24

Related items