April 20, 2024

තත්ත්වය දරුණුයි! මහා විදුලි කප්පාදුවකට දින ලකුණු වෙයි! (AUDIO)

December 27, 2021

අලුත් අවුරුද්ද අඳුරෙන් ඇරඹෙන ලකුණු

එලඹෙන වසර ආරම්භයේදීම විදුලි කප්පාදුවක අවදානමක් මතුව ඇතැයි වාර්තා වෙනවා.

ජනවාරි 24 වැනි දාට පසු මෙලෙස විදුලිය කප්පාදු කරනු ඇති බවට යි මත පළ වී ඇත්තේ.

ඒ, විදුලි බලාගාර සඳහා ඉන්ධන සපයා ගැනීමට ඩොලර් නොමැති වීම හේතුවෙන්.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී එම්.ආර්. රණතුංග මහතා ප්‍රකාශ කළේ, ජනවාරි මස 24 වැනිදා පමණවන තෙක් ඉන්ධන පිළිබඳ ගැටළුවක් නොමැති බවට තමන් විශ්වාස කරන බව යි.

එහෙත් මෙම තත්ත්වය දිගින් දිගටම බලපාමින් ඩොලර් සොයා ගැනීමට නොහැකි වුවහොත්  සහ ඛනිජ තෙල් සංස්ථාවට මුදල් ලබා දිය නොහැකි වුවහොත් විදුලිය කප්පාදු කිරීමේ අවදානමක් පවතින බව ද ඔහු පෙන්වා දුන්නා.

එමෙන්ම ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ සිය මණ්ඩලයට ඩොලර්වලින් ගෙවන පාරිභෝගිකයින් නොමැති බව යි.

ණයට දෙන්න අපිට බෑ

විදුලි බල මණ්ඩලය මෙවන් අර්බුධයකට ලක්ව ඇත්තේ තවදුරටත් ණය පදනම යටතේ ඉන්ධන ලබා දීමේ හැකියාවක් නොමැති බවට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විදුල බල මණ්ඩලයට දැනුම් දී ඇති පසුබිමක යි.

විදුලි බල මණ්ඩලය විසින් තම ආයතනයට රුපියල් බිලියන 91ක මුදලක් ගෙවිය යුතුව පවතින බව යි ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසන්නේ.

මීට පෙර ලෝක වෙළඳ පොළෙහි ඛනිජ තෙල් මිල අඩු වූ අවස්ථාවල ඉතිරි වූ මුදල් මහා භාණ්ඩාගාරය විසින් විදුලි බල මණ්ඩලයට ලබා දී ඇති බවත්, එම මුදල්වලින් රුපියල් බිලියන 50ක පමණ පියවීමක් විදුලි බල මණ්ඩලය විසින් සිදු කර ඇති බවත් ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත් යළිත් ණය ප්‍රමාණය වැඩි වී ඇති බව යි තෙල් සංස්ථා සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ තම සංස්ථාවට ද ඉන්ධන ණයට ගැනීමේ හැකියාවක් පවතින්නේ නම් විදුලි බල මණ්ඩලයට ඉන්ධන ණයට දීමට හැකි බව යි.

එහෙත් මේ මොහොතේ මතුව ඇති අර්බුධකාරී තත්ත්වය මත සිය සංස්ථාවට ඉන්ධන ණයට ගැනීමේ හැකියාවක් නොමැති බව යි ඔහු පවසන්නේ.

නැව ගිලෙද්දී බෑන් චූන්

මේ අයුරින් රටට විදුලිය සැපයීමට ඉන්ධන සොයා ගැනීම ගැටළුකාරී වී ඇති මොහොතක ගෙවී ගිය නත්තල් උත්සවය වෙනුවෙන් කොළඹ නගරය විදුලි බුබුළුවලින් ආලෝකමත් කිරීමට කටයුතු කර තිබුණා.

මෙහි දී රාජ්‍ය ආයතන පවා විශාල වශයෙන් විදුලිය වැය කරමින් විදුලි බුබුළු සැරසිළි කර තිබීම ගැටළුවක්.

පසුගිය යහපාලන රජය සමයේ දී ලොව උසම නත්තල් ගස නිර්මාණය කළ අවස්ථාවේ දී එය අනවශ්‍ය වියදමක් බව පවසමින් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පවා ඊට විරෝධය පළ කළා.

එහෙත් එම සමයටත් වඩා රට දැඩි ආර්ථික අර්බුධකාරී වාතාවරණයක පවතිද්දී මෙන්ම මේවන විටත් විදුලි කප්පාදු සිදුවද්දී කාදිනල් හිමිපාණන් හෝ කිසිදු වගකිව යුතු පාර්ශවයක් නත්තල වෙනුවෙන් විදුලිය අපතේ යැවීම සම්බන්ධයෙන් අදහස් පළ කොට තිබුණේ නැහැ.

මාර්තු තවත් අමාරුයි! වතුරත් නැතිවෙන ලකුණු!

මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ද පෙන්වා දෙන්නේ දැනට පැයක පමණ කාලයක් සිදු කෙරෙන විදුලි කප්පාදුව ජනවාරි මාසයවන විට තව දුරටත් දීර්ඝවනු ඇති බව යි.

එමෙන්ම මාර්තු මාසයවන විට විදුලිය පිළිබඳ භයානක අර්බුධයක් වෙත රට ගමන් කරන බව ද ඔහු අවධාරණය කළා.

එලෙස විදුලිය කප්පාදුවකට යාමක් සිදුවුවහොත්, ඒ හරහා අනිවාර්යයෙන් ජල ප්‍රශ්ණයක් ද මතුවන බව යි ඔහු පෙන්වා දෙන්නේ.

පැය කිහිපයක කාලයක් දිවයින පුරා විදුලි බිඳවැටීම සිදු වූ දිනයේ දී පොම්පාගාරවලට විදුලිය නොමැති වීම හේතුවෙන් ජලය ද නතර වූ බව ඔහු සිහිපත් කර සිටියා.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට මොළ 07ක් නොව මොළ 20ක් තිබුණ ද රට ඉදිරියට ගෙන යාමට ඔවුන්ට නොහැකි බව යි.

මණ්ඩලේ සහය නැතිලු

මෙවන් පසුබිමක පුනර්ජනනීය බලශක්ති භාවිතය ඉහළ නැංවීම මෙරට ප්‍රමුඛ අවශ්‍යතාවක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

එහෙත් ඒ සඳහා විදුලි බල මණ්ඩලයේ සහය නොලැබෙන බව යි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

අද (27) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පුවත්පත් කතෘවරුන් හමු වූ අවස්ථාවේ දී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.

පොහොට්ටුවේ හතර බීරි කතා

නිසි ආර්ථික කළමණාකරණයක් නොමැති වීම හේතුවෙන් රට මහා අර්බුධයකට පත්ව ඇති බව මේවන විට කුඩා දරුවන් පවා දන්නා මොහොතක මෙරට පාලක පක්ෂයවන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසන්නේ රටේ සියළු අරමුදල් සෞඛ්‍ය ක්ෂේත්‍රයට යොමු කර කොවිඩ් වසංගත තත්ත්වය ඉතා හොඳින් මැඩ පවත්වා ඇති බව යි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා ප්‍රකාශ කරන්නේ තම පක්ෂය භාරගත්තේ ආර්ථික වශයෙන් කඩාවැටුණු රටක් බව යි.

රටෙහි අර්බුධයක් පවතිද්දී පවා සියළුම අරමුදල් සෞඛ්‍යට ලබා දුන් නිසා ජනතාව කොවිඩ් උවදුරින් බේරා ගැනීමට රජයට හැකි වී ඇති බව යි ඔහු පවසන්නේ.

විතානගේ මහතා මේ බව සඳහන් කර සිටියේ එම පෙරමුණ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමින්.

ජනතාව බේරිලාද?

කොවිඩ් උවදුරින් මෙරට ජනතාව බේරා ගැනීමට තමන් නියෝජනය කරන ආණ්ඩුවට හැකියාව ලැබී තිබෙන බව මධුර විතානගේ මහතා පවසන නමුත් ඊයේ (26) දිනයේ ද මෙරටින් කොවිඩ් 19 ආසාදිතයින් 398ක් වාර්තා වූවා.

ඊයේ (26) දිනය තුළ තහවුරු කළ කොවිඩ් මරණ ගණන 17ක්.

කෙසේ වෙතත් දෛනිකව වාර්තාවන කොවිඩ් ආසාදිතයින්ගේ දත්ත වාර්තා නිවැරදි නොමැති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කරනවා.

දත්ත මගඩියක්!

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දුන්නේ දෛනික ආසාදිතයින් ගණන 500 සීමාවේ තබාගෙන ප්‍රකාශයට පත් කරන බව පෙනෙන්නට ඇති බව යි.

මෙම දත්ත නිවැරදි නොවන බැවින් මෙම දත්ත හරහා මහජනතාව තුළ “කොවිඩ් අවදානමක් නොමැති” බවට වූ මානසිකත්වයක් ගොඩ නැගෙන බවයි ඔහු සඳහන් කළේ..

එනිසාම ජනතාව මේවන විටත් සෞඛ්‍ය උපදෙස් කඩ කරමින් කටයුතු කරමින් සිටින බව ද ඔහු පවසා සිටියා.

Rate this item
(1 Vote)
Last modified on Monday, 27 December 2021 21:35