April 24, 2024

මේවා තහනම් කරන්න - "එක රටක් එක නීතියක්" සභාපති හිමි ඉදිරියේ කුරාණයේ වගන්තිත් පෙන්වයි

December 27, 2021

කාති උසාවි අහෝසි කිරීමට නිර්දේශ කරන්නැයි හිටපු මහාධිකරණ රෙජිස්ටාර්වරයෙකු වූ මොහොමඩ් සුබයිර් මහතා එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායෙන් ඉල්ලා තිබෙනවා.   

මුස්ලිම් කාන්තාවන්ට දීර්ඝකාලයක සිට සිදුවන බලවත් අසාධාරණය දැක තමා මෙම ඉල්ලීම කරන බව මොහොමඩ් සුබයිර් මහතා ප්‍රකාශ කර තිබෙනවා.

"එක රටක් එක නීතියක්" සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය මහජන අදහස් විමසීම සඳහා ඊයේ (26) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රැස්වූ අවස්ථාවේ සුබයිර් මහතා මෙම ඉල්ලීම සිදු කළ බවයි වාර්තා වන්නේ.

තමා ස්වෙච්ඡාවෙන් අදහස් ලබාදීම සඳහා පැමිණි බව පැවසූ සුබයිර් මහතා අධිකරණ ක්ෂේත්‍රයේ වසර 40ක තම සේවා කාලය තුළ ලද කණගාටුදායක අත්දැකීම් සිහිපත් කරමින් මෙම ඉල්ලීම සිදු කරන බව වැඩිදුරටත් පවසා තිබෙනවා.

විවිධ ස්වෙච්ඡා සංවිධාන, විවිධ ජන කොටස්, වෘත්තිකයන්ගේ සංවිධාන මෙන්ම සාමාන්‍ය ජනතාව නියෝජනය කරමින් පැමිණි පිරිස් කමිටුව හමුවේ අදහස් හා යෝජනා ඉදිරිපත් කළා.

බහු විවාහ තහනම් කරන්න

මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය සහ බහු විවාහ මෙන්ම ආගම කොටස්වලට බෙදාගෙන සංවිධාන පිහිටුවීම තහනම් කළ යුතු බවද මොහොමඩ් සුබයිර් මහතා කාර්ය සාධක බලකාය හමුවේ අවධාරණය කළා.

බොහෝ අවස්ථාවල කාති උසාවිවල නඩු ඇසීම සිදු කරනු ලබන්නේ නීතිඥවරයෙකු නොවන කාති වරයෙක්. නීතියට අදාළ වන ලිය කියවිලි හා එසේ නොවන ලේඛන නිවැරදිව හඳුනාගැනීමට කාති වරයෙකුට නොහැකි වන අවස්ථා තිබෙනවා. එසේ හෙයින් නිසි අවබෝධයකින් හා අපක්ෂපාතීව නිවැරැදි තීන්දුව ලබා දිය නොහැකි අවස්ථා මෙන්ම එම උසාවිය මගින් ලබාදෙන තීන්දු ක්‍රියාත්මක නොවන අවස්ථාද බහුලව වාර්තා වී තිබෙනවා. මෙම උසාවි ක්‍රමය අහෝසි කිරීම මගින් නඩත්තු නඩු වලදී අදාළ ගැහැනු දරුවාට මෙන්ම, දෙමාපියන්ටද සාධාරණයක් ලබා ගැනීමට හැකියාව ඇති බව මොහොමඩ් මහතා සඳහන් කළා.

මුස්ලිම් විවාහ හා දික්කසාද නිතිය මගින් බලවත් සමාජ හා නීතිමය අසාධාරණකම් සිදු වන බව බව පැවසූ මොහොමඩ් සුබයිර් මහතා, දැනට කාති ක්‍රමය යටතේ ගැනෙන නඩත්තු නඩු මහෙස්ත්‍රාත් උසාවිය මගින් ද, දික්කසාද නඩු දිස්ත්‍රික් උසාවිය මගින් ද සාධාරණ හා අපක්ෂපාතී ලෙස විසඳාගත හැකි බව පැවසුවා.

කුරාණයේ ඇති වගන්ති

බහු විවාහය සඳහා ඇති අයිතිය ද අහෝසි කළ යුතු බව පවසන සුබයිර් මහතා, ඒ සඳහා වන කරුණු කුරාණයේ ඇති වගන්ති ඉදිරිපත් කරමින් පැහැදිලි කළා.  ආගම කොටස් වලට බෙදා නොගන්නා ලෙස කුරාණයේ සඳහන් කර ඇති බව පවසන සුබයිර් මහතා එවැනි අවස්ථාවලට ඉඩ ලබාදීම මගින් විවිධ අන්තවාදී සංවිධාන බිහිවීමට ඉඩ ඇති බවද අවධාරණය කළා.

ශ්‍රී ලංකාව තුළ එක රටක් එක නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් විවිධ පාර්ශවයන් දරන අදහස් හා මතවාද අධ්‍යනය කිරිමෙන් පසු ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරීම පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර ස්වාමින් වහන්සේගේ සභාපතිත්වයෙන් යුත් ජනාධිපති කාර්ය සාධක බලකායට පැවරී ඇති වගකීමයි.

මීට පෙර උතුරු හා නැගෙනහිර පළාත්වල සංචාරය කොට එම පළාත්වල ජීවත් වන ජනතාවගේ හා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව තුළ පිහිටා ඇති කාර්යාලයේ දී දිවයින ම නියෝජනය වන අයුරින් පැමිණි සංවිධාන හා පුද්ගලයින් ගේ අදහස් ලබා ගත්තා.

මධ්‍යම පළාත් පළාතේ ජනතාවගේ අදහස් ලබා ගැනීම අද (27) දින නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ සිදු කෙරෙනවා. කමිටුව හමුවේ අදහස් පළ කිරීමට කැමති අයෙකුට පහත අංකයට ඇමතුමක් ලබා දීමෙන් ඒ සඳහා දිනයක් හා වේලාවක් වෙන්කර ගත හැක.

පහත ලිපිනයට තැපැල් හා විද්‍යුත් පණිවිඩ මගින් ද අදහස් පළ කිරීමේ හැකියාව ඇති බව කමිටුවේ ලේකම් ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජීවන්ති  සේනානායක මෙනවිය පවසනවා.

කාර්යාලීය දුරකථන අංකය      0112691775
කාර්යාලීය ලිපිනය
                   කාමර අංක 3G- 19,
                                                 බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව
,
                                                 කොළඹ 
7.
විද්‍යුත් තැපෑල                          
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Rate this item
(0 votes)

Related items