March 29, 2024

"මාව නිදහස් කරන්න" - පීබීගේ ඉල්ලීම එළියට

December 27, 2021

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා සිය ධුරයෙන් ඉවත් වීමේ තීරණය ගෙන ඇති බව පුවත් ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ වෙනුවෙන් ඔහු මේවන විටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත විශේෂ ලිපියක් යොමු කර ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා.

ඒ ජනාධිපති ලේකම් ධූරයෙන් තමාව නිදහස් කරන ලෙස ඉල්ලමින්.

මේ වනවිට වසර දෙකක් ජනාධිපති ලේකම් ධුරය දරා ඇති තමන් මෙම ධූරය භාර ගත්තේ එම තනතුරෙහි සීමිත කාලයක් සිටීමේ එකඟතාව මත බව අදාළ ලිපියෙහි සඳහන් කර ඇති බවට වාර්තාවන අතර එම කාලය තුළ තමන්ට මුහුණ දීමට සිදුවූ දුෂ්කරතා හා ගැටලු ගැනද ජයසුන්දර මහතා සිය ලිපිය මගින් ජනාධිපතිවරයාට කරුණු දක්වා ඇති බව පැවසෙනවා.

ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි 2022 ජනවාරි මස 31දා සිට තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට අවසර ලබා දෙන ලෙස ඔහු මෙම ලිපිය හරහා ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇති බව යි වැඩිදුරටත් දැක්වෙන්නේ.

අභ්‍යන්තර පුවත් ආරංචි මාර්ග මෙවන් තොරතුරු දක්වා සිටින පසුබිමක පී.බී. ජයසුන්දර මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදී ඇති බවට ද ජාතික පුවත්පත් දෙකක් වාර්තා කර තිබුණා.

ජයසුන්දර මහතාට ​​ඉල්ලා අස්වන ලෙසට බල කරමින් අමාත්‍ය මණ්ඩලයෙන් විරෝධය පළ වීමත් සමඟ ඔහු සිය ඉල්ලා අස්වීම ඉදිරිපත් කර ඇති බව “ඩේලි මිරර්” පුවත්පත පවසනවා.

එමෙන්ම “ද මෝනින්” පුවත්පත සඳහන් කර ඇත්තේ ජයසුන්දර මහතා විසින් භාරදුන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිළිගෙන ඇති බව යි.

මේ අතර පුවත් වාර්තා අනාවැකි පළ කරන්නේ ඔහුගෙන් හිස්වෙන ජනාධිපති ලේකම් ධූරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ලේකම් ගාමිණී සෙනරත් මහතාට හෝ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතාට ලැබීමට ඉඩ කඩ ඇති බව යි.

Rate this item
(1 Vote)
Last modified on Monday, 27 December 2021 14:37

Related items