April 19, 2024

බිත්තර මිල ගැන තීරණයක්

December 27, 2021

ඉකුත් සතියේ මාධ්‍ය මගින් පලවී තිබූ බිත්තර රුපියල් 50ට හා මස් කිලෝව රුපියල් 1000ට මිල ඉහල යන පුවත පිළිබඳ තම සංගමය කිසිදු දැනීමක් නොමැති බවත් මේ වනතෙක් එවන් මුදලකට බිත්තරයක් ඉහල දැමීමට තම සංගමය තීරණය කොට නැති බවත් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්.එම් සරත් රත්නායක මහතා පැවසුවා.

බිත්තරයක් රුපියල් 50ක් දක්වා මිල ඉහල දමන බවට පලවන පුවත් හා වාර්තා පිළිබඳව අදහස් දක්වමින් ඒ මහතා මාධ්‍යට ඒ බව පවසා සිටියා.

එහිදී අදහස් දක්වමින් ඒ මහතා මෙසේද සඳහන් කළා,

"මේ ගිහින් තියෙන්නෙ උපරිම මට්ටමට. පාරිභෝගික ජනතාව රුපියල් 50ට බිත්තරයක් මිල වේවි යැයි බිය වන්න අවශ්‍ය නැහැ. එහෙම තත්වයක් තවම නැහැ. අපි ඉරිඟු වලට සහනයක් ඉල්ලා සිටියා. ඒක මේ වනවිට ලැබෙමින් තියෙනවා. තව ප්‍රශ්න ටිකක් තියනවා. සත්ව ආහාර නිපදවන්න අවශ්‍ය කරන සෝයා හිඟකම තවමත් අප ඉදිරියේ පවතිනවා. ඒ වගේම තව ආනයනය කරන බෙහෙත් වර්ග රැසක් තියනවා. ඒවාටත් බදු සහන ලැබෙනවා නම් අපිට ඒ සා විශාල ලෙසින් බිත්තර මිල වැඩි කිරීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ.

මන්දපෝෂණයෙන් තුරන් වූ රටක අපි ඉන්නෙ. ඒ සඳහා අඩුම මිලට වැඩිම පෝෂණයක් සහිත බිත්තරය ඉවහල්ව තියෙනවා. කෘෂිකර්ම ඇමති මහින්දානන්ද මහත්මයාත් අපේ රට මස් බිත්තර වලින් ස්වයංපෝෂිත රටක් බව මේ මෑතකත් ප්‍රකාශ කර තිබුණා. රජය උනන්දුවෙන් අපි ගැන සාකච්ඡා කරගෙන යන අවස්ථාවක්. බිත්තරයක් රුපියල් 27න් එහා මිල ඉහල ගිහින් නැහැ. ඇතැම් බෙහෙත් වර්ග බොහෝ මිල ඉහල ගිහින්. ඒකට කිසිවෙකුටත් දොස් පවරා වැඩක් නැහැ. ඩොලරයේ මිල ඉහල යාම ඒකට හේතුව විය හැකියි. එහෙත් අපි අසාධාරණ ලෙසින් මිල නංවලා පාරිභෝගිකයින් හෝ ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්නෙ නැහැ.

කිසිදු ගොවියෙක් ඉල්ලලා නැහැ බිත්තරයක් 50 කරන්න කියලා. බිත්තරයක් නිපදවීමට රුපියල් 20ක් පමණ වැය වෙනවා. ඒ අතර ඉකුත් කොරෝනා සමයේ අපේ ගොවියො රුපියල් 8ටත් බිත්තර වික්කා. ග්‍රාමීය කර්මාන්තයක් ලෙසින් මේ බිත්තර නිෂ්පාදන දිනෙන් දින අභාවයට යමින් තියෙනවා. ලංකාවෙ බිත්තර අවශ්‍යතාවය වැඩි වශයෙන් පිරිමසන්නේ වයඹ ගොවීන්. දෛනිකව ලක්‍ෂ 65කට අධික ප්‍රමාණයක් වයඹීන් බිත්තර නිපදවනවා. ඒ හරහා උත්පාධිත රැකීරක්‍ෂා ප්‍රමාණය ලක්‍ෂ 5ක් පමණ වනවා. ගොවීන් පමණක් පන්දහසක් පමණ ඉන්නවා. මොනවා කිව්වත් අගමැතිවරයා වයඹ කෙනෙක් ඒ නිසා එතුමාගේ අවධානයක් මේ සඳහා යොමුවේවි. මේ වනවිටත් ඉල්ලපු බොහෝ සහන ලබා දීලා තියනවා. ඉරිඟු සහනය අපිට මහත් සහනයක්. ඒක බ්‍රොයිලර් නිෂ්පාදකයින්ටත් සහනයක්. ඒ නිසා ඒ අයගෙනුත් අපි ඉල්ලනවා රුපියල් 50ක් පමණ මස් මිල අඩුකරන්න පුලුවන් නම් ජනතාවට සහනයක් බව.

ඒ වගේම රුපියල් 50ට බිත්තර ගන්න අවශ්‍ය නැහැ අපේ වයඹ පළාතෙ ඕන තරම් බිත්තර රුපියල් 23.50ට ගන්න තියනවා. හිඟයි මිලයි කියන අය මාධ්‍යට ඇවිල්ලා අපිවත් ගෙන්න ගෙන ප්‍රසිද්ධියේ සාකච්ඡා කරමු ඒ ගැන. හිඟතාවයක් නැහැ. නිෂ්පාදන මිල එක්ක පමණයි යම් තරමක වැඩිවීමක් තියෙන්නෙ. අපි දවසකට කෝටි 13කට පමණ කන්න දෙන්න අවශ්‍යයි. සෝයා ගෙන්වන්නෙ රටකින් දෙකකින් පමණයි. තවත් සෝයා නිෂ්පාදනය කරන රටවල් තියන නිසා ඒ රටවලින් මිළගණන් කැඳවා බලන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා."

කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර       

Rate this item
(0 votes)
Last modified on Monday, 27 December 2021 14:27