April 20, 2024

පළාත් සභා මැතිවරණය ගැන පැෆරල් සංවිධානයෙන් ප්‍රකාශයක්

December 27, 2021

සර්වජන ඡන්ද බලය ලැබී වසර 90ක් පිරෙන මෙම අවස්ථාවේ පළාත් පාලන මැතිවරණය වසරකින් කල් දැමීට රජය කටයුතු කළහොත් එය පුරවැසියාට ඇති අයිතියට එල්ල කරන මරු පහරක් බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා සදහන් කරනවා.

පැෆරල් සංවිධානයේ මැතිවරණ නිරීක්ෂකයින් සමග සූම් තාක්ෂණය ඔස්සේ පැවති හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා.

මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද සඳහන් කළා,

"පළාත් පාලන මැතිවරණය වසරකින් කල් දැමීම සදහා වන යෝජනාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙනවා. විෂය භාර ඇමතිවරයා සදහන් කරන්නේ කොවිඩ් වසංගතය ඊට හේතුව බවයි. නමුත් කොවිඩ් රැල්ල ආරම්භයේදී අපේ රට තුළ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වණූ ලැබුවා. එම මැතිවරණය සාර්ථකව අවසන් කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට හැකියාව ලැබුණු බව අපි අමතක නොකළ යුතුයි. එම කාල වකවානුවේ විපක්ෂයේ සිටි වත්මන් රජය ඒ වෙනුවෙන් විශාල අරගලයක් කළ බවද අපිට මතකයි.

වර්තමානයේ පවතින තත්ත්වය අනුව මැතිවරණයක් පවත්වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් කථා කරන විට මහජනතාව විසින් අවධානයට ගත යුතු කරුණු කීපයක් තිබෙනවා. ඉන් පළමු වැන්න වන්නේ සත්‍ය ලෙසම මැතිවරණයක් පැවැත්වීම තුළින් කොවිඩ් අවදානම වැඩිවේවිද යන්නයි. එමෙන්ම මැතිවරණයක් සදහා වැය කරන රුපියල් මිලියන 6000ත් 10,000ත් අතර වන ප්‍රමාණය මේ මොහොතේ රටට දරා ගත හැකිද යන්න. මේ වන විට පළාත් පාලන ආයතන වල සභික ප්‍රමාණය දෙගුණයකටත් වඩා වැඩි වී තිබෙනවා. ඉදිරි මැතිවරණයට පෙර එම සභික ප්‍රමාණය අඩු කරන්නේද යන වග. විශාල මුදලක් වැය කර පත් කර ගන්නා මහජන නියෝජිතයින්ගෙන් ජනතාව බලාපොරොත්තු වන සේවාව ඉටු වන්නේද යන්න ගැන අවදානය යොමු කළ යුතු වනවා.

ඉහත කරුණු දෙස හොදින් අවධානය යොමු කළ විට අපට හැගී යන කරුණ වන්නේ සත්‍ය ලෙසම පළාත් පාලන මැතිවරණය කල් දමන්නේ දේශපාලන අරමුණක් වෙනුවෙන් වන බවයි. මේ සම්බන්ධයෙන් වන උදාහරණ ඕනෑ තරම් පසුගිය රජයවල් පැවති සමය ගෙන බැලූ විට කියන්න තිබෙනවා. ලංකවේ මැතිවරණ සිතියම ඒ මොහොතේ බලයේ සිටින පාලකයින් විසින් තමන්ගේ අභිමතය පරිදි හකුලා දැමීම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වන මරු පහරක් බව කිව යුතුයි. එමෙන්ම එය ඡන්දදායකයාට කරන නිගරුවක් ලෙසයි අපි දකින්නේ. එමෙන්ම ආණඩුව ගෙන යන වැඩ පිළිවෙල සම්බන්ධයෙන් ජනතාවගේ මතය උරගා බැලීමට අවශ්‍ය වන්නේ නම් එයද කළ හැක්කේ මැතිවරණයක් පැවැත්වීම තුළින් පමණක් බවයි අපි විශ්වාස කරන්නේ."

(ජුඩ් සමන්ත)

Rate this item
(0 votes)
Last modified on Sunday, 26 December 2021 19:26