March 28, 2024

නාමල්ගේ ගුරු උද්ඝෝෂණ තියරිය පුස්සක් වෙයි! මීලඟ කොවිඩ් රැල්ල LPL පොකුරකින්?

December 24, 2021

2021 ලංකා ප්‍රමියර් ලීග් හෙවත් LPL තරගාවලියේ දෙවැනි අදියර ඊයේ (23) රාත්‍රියේ අවසන් වූවා.

ඒ අවසාන මහා තරගයේ දී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පරාජයට පත් කළ ජැෆ්නා කිංස් කණ්ඩායමට ජය අත්කර දෙමින්.

පසුගිය වසරේ පැවැති LPL පළමු අදියරට අදාළ තරගවල දී කිසිදු ප්‍රේක්ෂකයෙකු සහභාගී කර නොගන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුළු සංවිධාකයින් තීරණය කර තිබුණා.

ඒ එම මොහොතේ මෙරට තුළ මෙන්ම ලෝකය තුළ ද කොවිඩ් 19 වසංගත තත්ත්වය ඉතා උග්‍ර ලෙස පැතිර යමින් පැවතීම හේතුවෙන්.

මුල් තරගවල ආදර්ශය

කෙසේ වෙතත් මෙවර තරගාවලිය ආරම්භයේ දී ප්‍රකාශයට පත් වූයේ ක්‍රීඩාංගණ ධාරිතාවෙන් සියයට පනහක ප්‍රතිශතයක ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් තරග නැරඹීම සඳහා ඇතුළත් කරගන්නා බව යි.

එමෙන්ම තරගාවලිය ආරම්භයේ සිටම එලෙස අඩු ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් තරග නරඹන අයුරු නිරීක්ෂණය වූ අතර මුව ආවරණ අනිවාර්ය කර තිබූ පසුබිමක ඔවුන් සියල්ලෝම පාහේ මුව ආවරණ පැළඳ සිටි අයුරු ද දක්නට ලැබුණා.

එය තරගාවලියේ විස්තර විචාරකයන්ගේ පවා පැසසුමට ලක් වූ කරුණක්.

එමෙන්ම තරග නැරඹීමට පැමිණි පිරිස් නිසි පරිදි දුරස්ථබව තබාගෙන සිටි අයුරුද පෙනෙන්නට තිබුණා.

LPL යනු ජාත්‍යන්තර ප්‍රේක්ෂකයින් පවා සජීවීව නැරඹූ ක්‍රීඩා තරගාවලියක් වූ හෙයින් ප්‍රේක්ෂකයින්ගේ එම සෞඛ්‍යාරක්ෂිත බව ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ජාත්‍යන්තරය ඉදිරියේ තහවුරු කරන්නක් ද වූවා.

ක්‍රිකට්වලට අමතක වූ දුරස්ථභාවය

කෙසේ වෙතත් ඊයේ (23) අවසාන මහා තරගයේ දී එම සියළු සෞඛ්‍ය මාර්ගෝපදේශ උඩු යටිකුරු වී තිබුණා.

තරගය හම්බන්තොට, මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී පැවැති අතර එය නැරඹීමට පැමිණි අති විශාල ප්‍රේක්ෂකයින් ප්‍රමාණයක් ක්‍රීඩාංගණ භූමියට ඇතුළු කරගෙන තිබුණේ සියයට පනහේ ප්‍රතිශතය පිළිබඳ තීරණය ද ප්‍රශ්ණාර්ථයට ලක් කරවමින්.

එමෙන්ම එලෙස තරගය නැරඹීමට පැමිණි පිරිසෙන් බහුතරය මුව ආවරණ පැළඳ සිටියේ නැහැ.

වඩාත් භයානක කරුණ වූයේ මුව ආවරණ ද නොපැළඳ සිටි ඔවුන් විශාල ගණනක් එකිනෙකා තෙරපෙමින් ඉතා කුඩා ඉඩ ප්‍රමාණයක් තුළ සිට තරගය නැරඹීම යි.

එමෙන්ම මෙලෙස විශාල ප්‍රේක්ෂක ප්‍රමාණයක් පැමිණීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සමාජ ජාල ආදිය තුළ උත්කර්ශයට නංවමින් සිටින අයුරු ද දක්නට ලැබෙනවා.

ඒ, ඔවුන් පහත ආකාරයේ වීඩියෝ ද ප්‍රචාරණය කරවීම මගින්.

විචාරකයින් අසරණයි

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ද සහභාගී වූ අවස්ථාවක මෙවැන්නක් සිදු වීම ද කැපී පෙණුනා.

මෙම තරගාවලියේ මීට පෙර පැවැති තරගවල සජීවී විකාශය අතරතුරේ දී නිසි පරිදි මුව ආවරණ පැළඳ සිටින ප්‍රේක්ෂකයින් පෙන්වමින්, සෞඛ්‍යාරක්ෂිතව තරග නැරඹීමේ වැදගත්කම පෙන්වා දීමට තරගයේ විස්තර විචාරකයින් නිරන්තරයෙන් ක්‍රියා කළා.

කෙසේ වෙතත් ඊයේ තිබූ තත්ත්වය හේතුවෙන් විස්තර විචාරකයින් ද සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් පිළිබඳ කිසිවක් කියාගත නොහැකිව අසරණ වී සිටි බව යි පෙනෙන්නට තිබුණේ.

ගුරු උද්ඝෝෂණ තියරිය

මීට පෙර භයානක බවට ප්‍රකාශ වූ ඩෙල්ටා ප්‍රභේදයටත් වඩා බොහෝ ගුණයක වේගයකින් පැතිර යාමේ හැකියාව පවතින ඔමික්‍රෝන් කොවිඩ් 19 වෛරස ප්‍රභේදය මෙරටට ද ඇතුළු වී ඇති මෙවන් මොහොතක මේ අයුරින් වගකීම් විරහිතව ක්‍රියා කිරීමට LPL සංවිධායකයින් ක්‍රියා කළේ මන්දැ යි විමතියට කරුණක්.

විවිධ පිරිස් මීට පෙර සංවිධානය කළ උද්ඝෝෂණ ආදිය පිළිබඳව ද ආණ්ඩුව මීට පෙර දැඩි විවේචනයක යෙදුණේ ඒ හරහා රට තුළ කොවිඩ් රැල්ලක් ඇති විය හැකි බවට චෝදනා නගමින්. 

එමෙන්ම ආණ්ඩුවට එරෙහිව පැවැති එම උද්ඝෝෂණ පොලිස් බලය යොදා බලහත්කාරයෙන් මැඩ පැවැත්වීමට පවා ආණ්ඩුව ක්‍රියා කර තිබුණේ කොවිඩ් වසංගත තත්ත්වය දඩමීමා කරගෙන යි.

ගුරු සංගම් පවසා සිටියේ තමන් එම උද්ඝෝෂණ සිදු කළේ මුව ආවරණ පැළඳීම ආදී සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින් බව යි.

කෙසේ වෙතත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ද වරෙක කියා සිටියේ මෙරට නව කොවිඩ් රැල්ලක් බිහි වීමට හේතු වූයේ ගුරුවරුන් විසින් පැවැත්වූ උද්ඝෝෂණ ව්‍යාපාරය බවට යි.

මීලඟ කොවිඩ් රැල්ල LPL පොකුරකින්

එවැනි මතයක සිටින නාමල් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන්, සිය සහභාගීත්වය ද සහිතව පැවැත්වුණු ක්‍රීඩා තරගයක් තුළ ඔහුගේ එම මතයට පරස්පර අයුරින් වැඩ කටයුතු සිදුවීම ගැටළුවක් නොවන්නේ ද?

එමෙන්ම “අලුත් අවුරුදු පොකුර”, “ගුරු පොකුර” ආදී විවිධ අන්වර්ථ නාමයන්ගෙන් මීට පෙර නිර්මාණය වූ කොවිඩ් පොකුරු හැඳින්වූ පසුබිමක, මීලඟ කොවිඩ් පොකුර “LPL පොකුරක්” නොවන්නේ දැයි කාටනම් කිව හැකි ද?

එම පොකුර ඔමික්‍රෝන් පොකුරක් වුවහොත් ඒ හරහා තවත් ව්‍යසනයක් නිර්මාණය වී, මේවන විටත් ආර්ථික අර්බුධයක පවතින රට තවදුරටත් අගාධයට නොයන්නේ ද?

Rate this item
(1 Vote)
Last modified on Friday, 24 December 2021 13:18