April 20, 2024

මීදුම කියලා හිතුවද? රට තුළ ඇති 'අත්භූත දුමාරය' පිටුපස ඇත්ත මෙන්න! Featured

December 23, 2021

අත්භූත දුමාරය

දිවයිනේ විවිධ ප්‍රදේශවල මේ දිනවල දුමක් වැනි තත්ත්වයක් නිරීක්ෂණයවන බව වාර්තා වෙනවා.

එය අද (23) දිනයේ වඩාත් වර්ධනය වී දක්නට ලැබුණු බව යි විවිධ ප්‍රදේශවල ජනතාව අප වෙත පවසා සිටියේ.

එය මීදුම් තත්ත්වයත් ලෙස සිතුවත් එය එසේ නොවන බව යි ජනතාව පවසන්නේ.

ගිනි අව්වෙත් මීදුම?

ඔවුන් පෙන්වා දෙන්නේ දහවල් කාලයේ හිරු රශ්මිය වැටී උණුසුම් සහිත පරිසරයක් ඇති වෙද්දී පවා එම දුම තත්ත්වය පවතින බව යි.

“තදට දුමක් තියනවා. කිසිම සීතල ගතියක් නෑ. උදේම දැක්ක නිසා හිතුවේ මීදුම කියලා. ඒත් දවල් වෙද්දි ගිනි අව්වෙත් දුම ගතිය තියෙනවා. මීදුමක් නම් මේ අව්වෙ තියෙන්න විදිහක් නෑනේ”

ජනතාව පවසන්නේ අන් දිනවල දී දර්ශනයවන කඳු වැටි ආදිය පමණක් නොව කෙටි දුරක පවතින ගස්, ගොඩනැගිලි පවා මෙම දුමාරයෙන් වැසී ගොස් ඇති බව යි.

මහියංගණය ප්‍රදේශයේ පුද්ගලයෙකු මෙලෙස අදහස් පළ කළා.

“හැමදාම උදේ බයික් එකේ යන්නේ. මීදුම තියෙන දවසට හෙල්මට් එකේ වතුර බින්දු එකතු වෙනවා. ඒත් මේක මීදුම නෙවෙයි. තෙත ගතියක් නෑ. ආං බලන්න කන්ද පේන්නෙවත් නෑ. මේ කුඹුරට එහා පැත්තෙ තියෙන ගස් පේළිය පේන හැටි බලන්න. මෙච්චර රත් වෙද්දිත් තියෙනවනම් මේක මීදුමක් වෙන්න බෑ”

එමෙන්ම අහසෙහි ඇති නිල් පැහැය ද අව පැහැ වී ඇති බව ජනතාව පෙන්වා දෙනවා.

මෙම දුමාරයෙන් අහස් කුස ද වැසී ගොස් ඇති බවත් එම නිසා අව් රශ්මිය ද මලානික වී පතිත වේ යැයි දැනෙන බවත් ඔවුන් ප්‍රකාශ කරනවා.

“අර අහස බලන්න. නිල් පාටක් නෑනෙ. තනිකර තඹ පාටට තියෙන්නේ. මලානික වෙලානේ අව්වත් වැටෙන්නෙ. වැහි කරුවළ කියලා අපි හිතුවෙ. එහෙම දෙයක් නෑ. මොකද්දෝ දුමක් තියෙන්නෙ. වැස්සක් එනවා නෙවෙයි”

බලධාරීන් කියන දේ

ජනතාව එලෙස සිය අත්දැකීම් විස්තර කරන පසුබිමක මෙරට වායු ගෝලයේ දුහුවිලි අංශුවල සුළු වැඩිවීමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කරනවා.

එමෙන්ම එම තත්ත්වය තවත් දින කිහිපයක් පැවැතිය හැකි බව යි එම සංවිධානයේ පරිසර අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා පවසා ඇත්තේ.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කරන්නේ මේදින වල ඉන්දියාවේ උතුරු දෙසින් වියළි සුළං හමා එන බව යි.

මෙම සුළඟෙහි ජලවාශ්ප නොමැති බවත් ඔහු පවසනවා.

ලංකාව ගිලගන්නා ඉන්දීය විෂ වායු වළාව

උතුරු ඉන්දියාව දෙසින් සුළං හමා එන මෙවන් තත්ත්වයක් මත විවිධ ප්‍රදේශවල නිරීක්ෂණය වන දුමාර වාතාවරණය ඉන්දියාවේ වායු දූෂණ තත්ත්වයෙහි අතුරු ඵලයක් දැයි ගැටළුවක් පැණනගිනවා.

විශේෂයෙන් ඉන්දියාවේ නගර ආශ්‍රිතව කර්මාන්ත ශාලා සහ රථ වාහන හේතුවෙන් දැඩි වායු දූෂණ තත්ත්වයක් හටගෙන ඇති අතර එරට උතුරු ප්‍රදේශවල පිදුරුවලට සහ අස්වනු නෙලූ ගොවි බිම්වලට ගිනි තැබීමෙන් හටගන්නා දුමාරය විශාල වශයෙන් පැතිර ගොස් වායු දූෂණ තත්ත්වයක් ලෙස වර්ධනයවන බව පරිසරවේදීන් පෙන්වා දෙනවා.

මේ අතර ගෝලීය වායු දූෂණය සම්බන්ධ දත්ත සපයන “IQ AIR” ආයතනය පෙන්වා දෙන්නේ මේවන විට (දෙසැම්බර් 23) ඉන්දියාවට ඉහළින් පවතින වායුගෝලය දූෂණය වී ඇති බව යි.

එමෙන්ම එම ආයතනයේ දත්ත ඇතුළත් කර ඇති සජීවී සිතියම්වල දැක්වෙන්නේ ඉන්දියාව ‍වෙළාගෙන ඇති විෂ වායු වළාව ශ්‍රී ලංකාව ද ගිල ගනිමින් පවතින බව යි.

මේ අය ගැන පරිස්සමින්!

මීට පෙර ද ඉන්දීය වායු දූෂණයේ බලපෑම් මෙරටට පැමිණි අවස්ථා ඉතිහාසයේ වාර්තා වූවා.

පසුගිය වසරේ නොවැම්බර් සහ දෙසැම්බර් කාලයේ එහි බලපෑම මෙරටට ප්‍රබලව දැනෙන්නට වුණා.

මෙවන් තත්ත්වයක දී ශ්වසන ආබාධ සහිත පුද්ගලයින්, හෘදයාබාද සහ වෙනත් බෝ නොවන රෝග සහිත පුද්ගලයින්, ගැබිණි මව්වරුන්, වයෝවෘද පුද්ගලයින් මෙන්ම කුඩා දරුවන් පිළිබඳව ද සැළකිළිමත් වීම සුදුසු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

ඉහත කී පුද්ගලයින් මෙවන් වාතාවරණයක් මත වෙහෙස නොවීම සහ වැඩි වේලාවක් එළිමහනෙහි නොසිටීම සුදුසු බව ද ඔවුන් සඳහන් කරනවා.

එමෙන්ම ශ්වසන අපහසුතාවක් පවතින්නේ නම් වහාම වෛද්‍යවරයෙකු කරා යොමු වීම වැදගත් බව යි සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ.

කියවන්න: අහිංසක ජීවිත රැසක් මරණයේ හෙලූ ඩොනෝරාවේ ඛේදවාචකය 

Rate this item
(0 votes)
Last modified on Thursday, 23 December 2021 11:43