April 20, 2024

රට වැටුණ තැනක්! අධි-උද්ධමනයක්?

December 22, 2021

ඉන්ධන මිල වැඩිවීම හේතුවෙන් මෙරට උද්ධමනය සියයට 03 කින් වැඩිවනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පුරෝකථනය කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

මේ අතර රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිතයි.

එහිදී රටේ විදෙස් සංචිතය, ඩොලර් අර්බුදය, විදෙස් ණය ගෙවීම ඇතුලු ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් අදහස් දක්වනු ඇති.

එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට ශ්‍රී ලංකාව සූදානම්ද? නැද්ද? යන්න සම්බන්ධයෙන් නිළ ප්‍රකාශයක් මෙහිදී මහ බැංකු අධිපතිවරයා විසින් සිදුකරනු ඇති බවයි වාර්තා වන්නේ.

මේවන විට රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය දිනෙන් දින උග්‍ර වෙමින් පවතිනවා. ඊයේ සිට ඉන්ධන මිල වැඩි වීමත් සමග ඉදිරියේදී ජනතාවට දැඩි පීඩනයකට මුහුණ දීමට සිදු වන ඇති.

ගෑස්, එළවලු, කිරිපිටි, ජීවන වියදම ඇතුලු ප්‍රශ්න රැසකින් පීඩාවට පත්ව සිටින ජනතාවට ඉන්ධන මිල වැඩිවීම හේතුවෙන් සිදුව ඇත්තේ කබලෙන් ලිපට වැටීමටයි.

උද්ධමනය වාර්තාගත ලෙස ඉහළට

මේ අතර ඉකුත් නොවැම්බර් මාසයේ දී ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ වාර්ෂික සාමාන්‍ය මතුපිට උද්ධමනය සියයට 6.2 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය සියයට 11 යි දශම 1 ක් දක්වා ද ඉහළ ගොස් ඇති බවයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ.

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 8.3හි සිට 2021 නොවැම්බර් මාසයේ දී සියයට 11.1 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර, වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජා.පා.මි. දර්ශකයෙහි වෙනස, 2021 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 5.7හි සිට 2021 නොවැම්බර් මාසයේ දී සියයට 6.2 දක්වා ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා පෙන්වා දෙන්නේ.

උද්ධමනය සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය.

ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ඔක්තෝබර් මාසයේ දී පැවති සියයට 11.7හි සිට 2021 නොවැම්බර් මාසයේ දී සියයට 16.9 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 5.4හි සිට 2021 නොවැම්බර් මාසයේ දී සියයට 6.2 දක්වා ඉහළ ගිය බවයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ. 

ආහාර මිල ඉහලට

2021 නොවැම්බර් මාසයේ දී ජා.පා.මි. දර්ශකයෙහි මාසික වෙනස සියයට 3.14ක් ලෙස වාර්තා වූ අතර, ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන් පිළිවෙළින්, සියයට 2.61කින් සහ සියයට 0.53කින් ඉහළ යෑම මේ සදහා හේතු වී තිබෙනවා.

ඒ අනුව, 2021 නොවැම්බර් මාසයේ දී ආහාර කාණ්ඩය තුළ, එළවළු, සහල්, කිරි පිටි, ලොකු ළූණු, නැවුම් මත්ස්‍ය සහ කුකුල් මස් මිල ගණන් ඉහළ ගොස් ඇති අතර ආහාර නොවන කාණ්ඩය තුළ, ප්‍රධාන වශයෙන් ආපනශාලා සහ හෝටල් සහ මද්‍යසාර පාන වර්ග සහ දුම්කොළ යන උප කාණ්ඩවල අයිතමවල මිල ගණන් 2021 නොවැම්බර් මාසයේ දී ඉහළ ගොස් තිබෙනවා.

තවද, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය, 2021 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 7.2හි සිට 2021 නොවැම්බර් මාසයේ දී සියයට 8.8 දක්වා ඉහළ ගිය අතර, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය, 2021 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 4.6හි සිට 2021 නොවැම්බර් මාසයේ දී සියයට 5.0 දක්වා ඉහළ ගියා.

ආනයන වියදම් තවත් ඉහළට 

2021 වසරේ මැයි මාසයේ සිට මාසික ලක්ෂ්‍යමය පදනම මත පහළ ගිය වෙළඳ භාණ්ඩ හිඟය, 2021 වසරේ ඔක්තෝබර් මාසයේ දී එ.ජ. ඩොලර් මිලියන 495ක් දක්වා තවදුරටත් පහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවක දැක්වෙනවා.

ඉතිහාසයේ ඉහළම මාසික අපනයන ඉපැයීම් අගය 2021 වසරේ ඔක්තෝබර් මාසයේ දී වාර්තා වූ අතර, අපනයන ඉපැයීම් අඛණ්ඩව පස්වන මාසයටත් එ.ජ. ඩොලර් බිලියන 1.0ක් ඉක්ම විය.

අපනයන ඉපැයීම්වල සිදු වූ මෙම වර්ධනයන් සහ අපනයන ඉපැයීම් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම ඉහළ යෑමත් සමඟ ඉදිරි කාලය තුළ දේශීය විදේශ විනිමය වෙළඳපොළ වෙත විදේශ විනිමය ලැබීම ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ප්‍රේෂණවල අඩු වීමක්

ආනයන වියදම ද 2021 වසරේ ඔක්තෝබර් මාසයේ දී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත වර්ධනයක් වාර්තා කළා.

2021 වසරේ ඔක්තෝබර් මාසයේ දී සංචාරක පැමිණීම්වල වර්ධන වේගය අඛණ්ඩව පවත්වා ගනිමින්, පසුගිය මාසයට සාපේක්ෂව කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කළ බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

2021 වසරේ ඔක්තෝබර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල අඩු වීමක් තවදුරටත් පෙන්නුම් කළා.

රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළෙහි සහ කොළඹ කොටස් වෙළඳපොළෙහි විදේශීය ආයෝජන ශුද්ධ ගෙවීම් මාසය තුළ දී සුළු ප්‍රමාණයක් වාර්තා වුණා.

මේ අතර, අන්තර් බැංකු වෙළඳපොළේ බර තැබූ සාමාන්‍ය එතැන් විනිමය අනුපාතිකය එ.ජ. ඩොලරයට රුපියල් 201ක මට්ටමක පැවතුණි.

වෙළෙඳ ශේෂය

වෙළෙඳ ගිණුමේ හිඟය, 2020 වසරේ ඔක්තෝබර් මාසයේ දී වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 509 ට සාපේක්ෂව, 2021 වසරේ සැප්තැම්බර් මාසයේ දී වාර්තා වූ අගයම වාර්තා කරමින් 2021 වසරේ ඔක්තෝබර් මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 495ක් දක්වා අඩු වී තිබෙනවා.

2021 වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ සමස්ත වෙළෙඳ ගිණුමේ හිඟය, 2020 වසරේ අනුරූප කාලපරිච්ඡේදය තුළ වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 4,846ක හිඟයට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලර් මිලියන 6,498ක හිඟයක් දක්වා පුළුල් වූ බවයි එම වාර්තාවේ සඳහන් වන්නේ.

වෙළෙඳ ගිණුමේ සමස්ත හිඟය පුළුල් වීම සඳහා බලපෑ සාධක ඉහත රූප සටහනින් දැක්වේ.

වෙළෙඳ මිල අනුපාතය

අපනයන සහ ආනයන මිල ගණන් අතර අනුපාතය දැක්වෙන වෙළෙඳ මිල අනුපාතය, 2020 වසරේ ඔක්තෝම්බර් මාසයට සාපේක්ෂව 2021 වසරේ ඔක්තෝම්බර් මාසයේදී සියයට 1.5කින් ඉහළ ගිය අතර, ආනයන මිල ගණන් ඉහළ යෑමට වඩා වැඩි වේගයකින් අපනයන මිල ගණන් ඉහළ යෑම මේ සඳහා හේතුවූ බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

Rate this item
(1 Vote)