April 24, 2024

මෙය අවසානයක් වගේම ආරම්භයක් යැයි කියමින් චීන තානාපති ආදම්ගේ පාලමට පය තියයි (PHOTOS)

December 21, 2021

ශ්‍රී ලංකාවේ චීන තානාපති සී සෙන් හොන් මහතා උතුරේ තෙදින නිල සංචාරය අවසන් කරනු ලැබුවේ යාපනය පේදුරුතුඩුවත් මන්නාරම ආදම්ගේ පාලම විශේෂ වූ නිරීක්ෂණයකද නිරත වෙමින්.

යාපනයේ ධීවර ප්‍රජාව සහ රාජ්‍ය නිලධාරීන් හමුවීමෙන් අනතුරුව යාපනය සංචාරය නිමා කරනු ලැබුවේ යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේ පිහිටි තුඩුව ස්ථානයටද ගොස්.

එහි ගිය චීන තානාපති ඇතුළු දූත පිරිස ඩ්‍රෝන කැමරා තාක්ෂණය යොදා ගනිමින් පේදුරුතුඩුවේ මුහුදු ප්‍රදේශයද නිරීක්ෂණය කරන ලද අතර එහිදී චීන තානාපතිවරයා විමසා ඇත්තේ තුඩුවේ සිට ඉන්දියාවට කොපමණ දුරක් ඇත්තේද යන්න පිළිබඳවයි. පසුව එහි සිටි නිලධාරීන් කිලෝමීටර් 30කට පමණ දුරින් ඉන්දියාව පිහිටි බවට දැනුම් දෙනු ලැබ ඇතැයිද වාර්තා වෙනවා.

අනතුරුව චීන තානාපති ඇතුළු පිරිස යාපනය සංචාරය අවසන් කරමින් මන්නාරමට පැමිණි චීන තානාපතිවරයාගේ විශේෂ අවධානය යොමු වන්නේ මන්මනාරමත් ඉන්දියාවත් අතර පිහිටි ආදම්ගෙ පාලම වෙතටයි. පසුව චීන තානාපති ඇතුළු දූත පිරිස නාවික හමුදාවේ තල්ලුව පාඩු කඳවුරට පැමිණ එහි සිට නාවික හමුදාවට අයත් යාත්‍රා කීපයකින් ආදම්ගේ පාලම විශේෂ නිරීක්ෂණයක නිරත වෙනවා.

මන්නාරම් මුහුදේ නාවික සැතපුම් 17ක් පමණ ගමන්කොට චීන තානාපති ඇතුළු පිරිස ආදම්ගේ පාලම නිරීක්ෂණය කරනු ලැබුවා.

එහිදී චීන තානාපතිවරයා ඇතුළු පිරිස විනාඩි 20ක පමණ කාලයක් ගතකොට ආදම්ගේ පාලම නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව නැවත නාවික හමුදා කඳවුරට පැමිණ චීන තානාපතිවරයා පිටත්ව යාමට පෙර මාධ්‍යයට අදහස් දක්වමින් ඔහුගේ නිල රථයට ගොඩ වූයේ මෙය අවසානයක් වගේම ආරම්භයක්ද බව පවසමින්.

තලේමන්නාරමේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා කිලෝ මීටර් 30කට ආසන්න දුරකින් යුක්ත වැලි පරය ආදම්ගේ පාලම ලෙසින් හඳුන්වන අතර ඉන්දියානුවන් එය රාම්සේතු ලෙසද හඳුන්වනවා. මෙහි කුඩා වැලි පර 16 ඇති අතර ඉන් 8 ක් ශ්‍රී ලංකාවටත් ඉතිරිය ඉන්දියාවටත් අයිති වෙනවා.

මේ අතර පසුගිය මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල බග්ලි මහතා ඇතුළු පිරිසක්ද ආදම්ගෙ පාලම නිරීක්ෂණය කොට එක් වැලි පරයක ආගමික වතාවත් ද සිදු කරනු ලැබුවා.

මෙවැනි වාතාවරණයක් තුළ චීන තානාපතිවරයා යාපනය පේදුරුතුඩුවත් මන්නාරමේ ආදම්ගෙ පාලම නිරීක්ෂණය කිරීමත් විශේෂ සිදුවීමක් වෙනවා.

චීන තානාපතිවරයාගේ උතුරු සංචාරය වෙනුවෙන් පොලීසිය, නාවික හමුදාව මෙන්ම යුද හමුදාවේද විශේෂ වූ ආරක්ෂාවක් සපයා තිබීම විශේෂ වුණා.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

Rate this item
(0 votes)
Last modified on Tuesday, 21 December 2021 12:08