April 25, 2024

වරායේ හිර වූ කන්ටේනර් එළියට ගන්න ඇමැතිගෙන් උදව්වක්

December 17, 2021

ඩොලර් නොමැතිකම නිසා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දහසකට වැඩි සංඛ්‍යාවක් මේ වනවිටත් වරායේ පවතින බව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය කියා සිටියා.

එහි මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා පැවසුවේ සහල්, සීනි, පරිප්පු ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය එම කන්ටේනර්වල පවතින බවයි.

මීට අදාළව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සමග ද එම සංගමය ඊයේ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එහිදී වෙළඳ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ, වරායේ සිරවී ඇති මෙම අත්‍යාවශ්‍ය භාණ්ඩ නිදහස් කර ගැනීමේ කටයුතු කඩිනමින් සිදු කරන බවයි.

වරාය තුල සිර වී ඇති අත්‍යවශ්‍ය ආහාර අඩංගු කන්ටේනර් නිදහස් කර ගැනීමට ඩොලර් නිකුත් කිරීම සඳහා මැදිහත් වීමට ශ්‍රී ලංකා මහබැංකුව සූදානම් බව එහි අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කළා.

මහබැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේ, ඩොලර් හිඟය හේතුවෙන් නිදහස් කර ගැනීමට නො හැකිව කන්ටේනර් රැසක් වරායේ පවතින බවට ආනයනකරුවන් සිදු කරන ප්‍රකාශ සම්බන්ධයෙන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්.

අදාළ කන්ටේනර් නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය මුදල් සියල්ල නිකුත් කර අවසන් බවයි මහබැංකු අධිපතිවරයා සඳහන් කළේ.

කන්ටේනර් නිදහස් කර ගැනීමේ ගැටලු සම්බන්ධයෙන් දැනුවත් කළහොත් ඒ සඳහා වහාම ඩොලර් නිදහස් කළ හැකි බව ද මහබැංකු අධිපතිවරයා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, ඩොලර් නිදහස් කිරිමත් සමඟ මේ වනවිට කන්ටේනර් විශාල ප්‍රමාණයක් දෛනිකව නිදහස් කරමින් පවතින බවයි මහබැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේ.

මේ අතර, මේ දිනවල වෙළඳපොලේ ලොකු ලූනු මිල ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වුණා.

වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කළේ, ලොකු ලූණු කිලෝවක තොග මිල රුපියල් 300 සීමාවට ආසන්න වී ඇති බවයි.

කෙසේ වෙතත්, ලොකුළුෑණු අඩංගු නෞකා දෙකක් අද කොළඹ වරායට පැමිණීමට නියමිතව ඇති බව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළා.

ඩොලර් අර්බුදය හමුවේ එම කන්ටේනර් නිදහස් කර ගැනීමට ද බාධා මතුව ඇති අතර, ණය පදනම මත ඇතැම් ලොකුලූනු කන්ටේනර් නිදහස් කර ගනිමින් සිටින බවයි ආනයනකරුවන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

Rate this item
(0 votes)