March 29, 2024

චීන අධි තාක්ෂණික ඩ්‍රෝනයක් උතුර පරීක්ෂා කරයි! පුරාවිද්‍යා ගොඩනැගිලිත් නිරීක්ෂණයට!

December 16, 2021

ශ්‍රී ලංකාවේ චීන තානාපති කී සෙන් හොං මහතා ඊයේ (15) උතුරු පළාතේ විශේෂ සංචාරයක නිරත වී තිබෙනවා.

විශේෂත්වය වන්නේ ඔහු එහි දී විශේෂ නිරීක්ෂණයක් ද සිදු කොට තිබීම යි.

තානාපතිවරයා දින 03ක් උතුරු පළාතේ රැඳී සිටින බව යි වාර්තා වන්නේ.

ඩ්‍රෝන යැව්වේ ඇයි?

ඔහු ඊයේ පේදුරු තුඩුවට පැමණි අතර එම පෙදෙස නිරීක්ෂණය කරන අයුරු ද දක්නට ලැබුණා.

ඒ සඳහා අධි තාක්ෂණික ඩ්‍රෝන යානාවක් සහ එහි සවි කළ කැමරාවක් යොදා ගත් බව යි අප වෙත වාර්තා වූයේ.

කෙසේ වෙතත් චීනය සම්බන්ධයෙන් මෙරට තුළ සැක සංකා මතුවෙමින් ඇති වාතාවරණයක එලෙස ඩ්‍රෝන කැමරා යොදාගෙන කුමක් නිරික්ෂණය කළේ ද යන්න පිළිබඳව ඇත්තේ ගැටළුවක්.

පැරණි ගොඩනැගිලිත් පරීක්ෂාවට

හොං මහතා පසුව යාපනය පුස්තකාලය වෙත ද ගොස් ඇති අතර එහි දී පරිත්‍යාග කිහිපයක් ද සිදු කොට ඇති බව සඳහන්.

එම පුස්තකාල පරිශ්‍රයේ පිහිටි ඉන්දියානු මධ්‍යස්ථානය ද චීන තානාපතිවරයාගේ නිරීක්ෂණයට ලක් වීම විශේෂත්වයක්.

චීනය සහ ඉන්දියාව මේවන විට සතුරු රාජ්‍යයන් දෙකක් බවට පත්ව තිබෙනවා.

මේ අතර ඊයේ (15) සවස් කාලයේ දී චීන තානාපතිවරයා උතුරේ පුරා විද්‍යාත්මක වටිනාකමින් යුතු ගොඩනැගිලි කිහිපයක් ද නිරීක්ෂණය කොට ඇති බව වාර්තා වෙනවා.

එමෙන්ම ඔහුගේ සංචාරය නිමිත්තෙන් වවුනියාව නගරයේ ආරක්ෂාව ද තර කොට තිබූ බව ද සඳහන්.

ඉන්දියාවේ පරීක්ෂාව

මේ අතර ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි මහතා ද පසුගිය දිනෙක උතුරේ සංචාරයක නිරත වූවා.

ඔවුන් හෙලිකොප්ටරයක නැගී උතුරේ නිරීක්ෂණයක ද නිරත වූණා.

සුලං බලාගාරයක් සඳහා ආයෝජනය කිරීමේ හැකියාව එහි දී පරීක්ෂා කළ බව යි කියැවුණේ.

උතුරේ දූපත් තුනක් චීනයට?

මේ අතර උතුරේ දූපත් තුනක් චීනයට ලබා දෙන බවට වූ පුවත තමා පිළි නොගන්නා බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසනවා.

ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ පිහිටි විශේෂ මාධ්‍ය හමුවක දී ඔහු මේ බව පවසා සිටියා.

දූපත් ගණන් වෙනත් රාජ්‍යයකට ලබා දීමට රජය සැළසුම් කර නොමැති බව යි ඔහු අවධාරණය කරන්නේ.

කෙසේ වෙතත් ඉදිරියට යාමට නම් මෙරටට ආයෝජන අවශ්‍ය බව ද කමල් ගුණරත්න මහතා පෙන්වා දෙනවා.

මෙරට යම් කිසි ව්‍යාපෘතියක ආයෝජනය කිරීම සඳහා ආයෝජකයින්ට ආරාධනා කළ පසු, පැමිණෙන්නේ කිහිපදෙනෙකු නම්, එම කිහිපදෙනා අතුරින් වැඩිම වාසි සහගත සමාගම තෝරාගත යුතු බව යි ඔහු සඳහන් කරන්නේ.

කමල් ගුණරත්න මහතා වැඩිදුරටත් පවසන්නේ එලෙස තෝරා ගන්නා සමාගම චීන සමාගමක් නම් එය වැරදි ආකාරයෙන් විවේචනය නොකළ යුතු බව යි.

ජාතික ආරක්ෂාව

මේ අතර රජය අත්සන් තබන ගිවිසුම්වලින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වේ නම් එවන් අවස්ථාවක තම පාර්ශවය විසින් ඒ බව රජය වෙත පෙන්වා දෙන බව ආරක්ෂක ලේකම්වරයා පවසනවා.

කෙසේ වෙතත් එවන් තර්ජනයක්වන ගිවිසුමක් තවම ඉදිරිපත් වී නොමැති බව ද ඔහු සඳහන් කරනවා.

එමෙන්ම ජාතික ආරක්ෂාවට තර්ජනයත්වන ආකාරයේ ගිවිසුමක් මෙම රජය මෙතෙක් අත්සන් තබා නොමැති බව යි ඔහු අවධාරණය කරන්නේ.

“ඒක ජාතික ආරක්ෂාවට තර්ජනයක් නම් අපේ ජනාධිපතිතුමා කවදාවත් ඒකට ඉඩ දෙන්නේ නෑ” යනුවෙන් ද ආරක්ෂක ලේකම්වරයා පවසා සිටියා.

Rate this item
(0 votes)
Last modified on Friday, 17 December 2021 10:43