April 20, 2024

ගොඩබෑමේ අර්බුදයෙන් ගෑස් නැව දින 3ක් හිරවෙලා! ගෑස් සැපයුම අඩපණ වන ලකුණු Featured

December 13, 2021

රට තුළ ගෑස් සැපයුම යළිත් අර්බුදයකට ලක්ව තිබෙනවා.

ගෑස් සැපයුමේ සැපයුම අඩාල වී තිබීම ඊට හේතුවයි.

ගෑස් නැවට වෙච්ච දෙයක්

මේ අතර මෙරට ගෑස් රැගෙන පැමිණි නෞකාවක ගෑස් සාම්පල පරීක‍ෂණ ප්‍රතිඵල ප්‍රමාදවීම හේතුවෙන් එම ගෑස් තොගය ගොඩබෑමේ ගැටලුවකට මුහුණ දී තිබෙනවා.

මීට දින 03කට පෙර එම නෞකාවෙන් අදාළ ගෑස් සාම්පල ලබාගෙන ඇති අතර, මේ දක්වා එම ප්‍රතිඵල ලැබී නැහැ.

ඒ හේතුවෙන් අදාල නෞකාව මේ වනවිට වත්තල, උස්වැටකෙයියාව, හල්දියවත්ත මුහුදු තීරයේ නැංඟුරම්ලා තිබෙනවා.

ගෑස් සැපයුම් අඩාලයි

ලාෆ්ස් ගෑස් සැපයුම සැලකිය යුතු මට්ටමකින් අඩාල වී ඇති අතර බොහෝ ප්‍රදේශවල ලාෆ්ස් ගෑස් දක්නට නොලැබෙන බවයි පාරිභෝගිකයින් පවසන්නේ.

ලිට්රෝ සමාගම නව ප්‍රමිතීන් යටතේ වෙළෙඳපොළට ගෑස් සැපයුව ද පාරිභෝගිකයන් පරණ තොග යටතේ මිලදී ගත් ගෑස් සිලින්ඩර මාරු කිරීමට රැගෙන ඒමත් සමග අර්බුදකාරි තත්ත්වයක් මතුව තිබෙනවා.

පාරිභෝගික අධිකාරිය මීට දින කිහිපයකට පෙර ලිට්රෝ සමාගමට නියෝග කළේ දෙසැම්බර් 4 වනදාට පෙර මිලදී ගත් මුද්‍රා ඉවත් නොකළ ගෑස් සිලින්ඩර වෙනුවට නව සිලින්ඩර ලබාදෙන ලෙසයි.

ගෑස් හුවමාරුවට කාලයක්

කෙසේ වෙතත්, වෙළෙඳපොළ තුළ ලාෆ්ස් ගෑස් සැපුයුම ද අඩාල වී ඇති පසුබිමක මෙම ක්‍රියාවලිය සිදුවීම දුෂ්කර කාර්යයක් වී ඇති බව වාර්තා වනවා.

මේ හේතුවෙන් ඔවුන් මුද්‍රා ඉවත් නොකළ ගැටලු සහගත ගෑස් සිලින්ඩර හුවමාරු කිරීමට රැගෙන ආ විට නව සිලින්ඩරයක් ලබාදීම සදහා පාරිභෝගිකයන්ගෙන් කාලසීමාවක් ඉල්ලා සිටි බව ද වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් ලිටෝ ගෑස් සමාගමෙන් මේ වන විටත් කරුණු විමසා ඇති බවයි පාරිභෝගික අධිකාරිය පවසන්නේ.

ගෑස් පිපිරීම් තවමත්

මේ අතර, ගෑස් ආශ්‍රිත සිදුවීම් තවදුරටත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තාවනවා.

හැටන් කොටලගල වත්ත වතු නිවසක ගෑස් සිලින්ඩරයක් ඊයේ (12) අලුයම පුපුරා ගොස් ඇති බව වාර්තා වනවා.

මීට දින කිහිපයකට පෙර මිලදී ගත් ගෑස් සිලින්ඩරයක් මෙලෙස පුපුරා ගොස් ඇති බවයි වාර්තාවන්නේ.

තවත් මරණයක්

මහනුවර නත්තරම්පොත ප්‍රදේශයේ නිවසක ගෑස් ලිපක් පුපුරා යෑමෙන් බරපතල පිළිස්සුම් තුවාල ලද පනස් එක් හැවිරිදි කාන්තාවක් මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (11) මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ ඩබ්ලිව් ප්‍රියංගනී නැමැති තිදරු මවක්.

අදාළ කාන්තාව පසුගිය (01) දින අලුයම අවදි වී මුළුතැන්ගෙට ගොස් ගෑස් ලිප දැල්වූ අවස්ථාවේ එය පුපුරා ගොස් තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබුණා.

ගෑස් ලිප පුපුරා යෑමෙන් බරපතළ තුවාල ලත් කාන්තාව මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දින 10ක පමණ කාලයක් ප්‍රතිකාර ප්‍රතිකාර ලබමින් සිට තිබෙනවා.

මාතලේ හෙට්ටිපොළ ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව දරුවන් පාසල් ගැනීමේ පහසුව පිණිස කුලී පදනම මත නත්තරම්පොත ප්‍රදේශයේ නිවසට මීට මාස තුනකට පමණ ඉහත දී පැමිණ තිබෙන බව පොලීසිය පැවසුවා.

පසුගිය දිනවල මහනුවර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකම ගෑස් ලිප් පුපුරා යෑමේ සිදුවීම් වාර්තා වුණා.

එවැනි අනතුරකින් තුවාල ලැබ අනුර දිස්ත්‍රික්කයේ සිදු වූ ප්‍රථම මරණය මෙය බව පල්ලේකැලේ⁣ පොලීසිය පෙන්වා දුන්නා.

ගෑස් පිපිරීම් තවදුරටත් සිදුවීමත් තවත් මරණයක් වාර්තා වීමත් සමඟ ජනතාව තවමත් දැඩි අනාරක්ෂිත තත්වයට පත්ව තිබෙනවා. ගෑස් අර්බුදය විසඳීමට ආණ්ඩුව හෝ ගෑස් සමාගම් නිසි පියවර ගැනීම දිගින් දිගටම ප්‍රමාද කළහොත් තවත් ජීවිත රටට අහිමි වීම වැලැක්වීමට නොහැකි වනු ඇත. ගෑස් සමාගම් නියාමනය කිරීම, විපතට පත්වූ සහ අලාභ හානි සිදු වූ ජනතාවට සහන සැලසීමට නිසි වැඩපිලිවෙලක් සැකසීමටද වහා කළ යුතුය.

Rate this item
(0 votes)
Last modified on Monday, 13 December 2021 10:51