March 29, 2024

ගොයම් කන සුනඛයින් නිසා ගොවියන්ට අලුත් ගැටලුවක්! මහින්දානන්දට අසූචි පොවන්නත් යෝජනා!

December 12, 2021

රසායනික පොහොර ගෙන්වීම තහනම් කිරීමට රජය තීරණය කිරීමත් සමග මෙරට කෘෂි කර්මාන්ත ක්ෂේත්‍රයේ දැඩි පහත වැටීමක් සිදු වූවා.

රජයේ එම තීරණය සම්බන්ධයෙන් ගොවීන්ගේ ප්‍රතිචාරය ද සුළු පටු නොවූ අතර දිවයින පුරා ගොවි උද්ඝෝෂණ ද සුලබ දසුනක් බවට පත්ව තිබුණා.

රසායනික පොහොර තහනම් කොට 100%ක් කාබනික පොහොර භාවිත කිරීම වානිජ ගොවිතැනේ දී ප්‍රායෝගික නොවන බව ඇතැමුන් සඳහන් කළ අතර තවත් පාර්ශව පැවසූවේ රසායනික පොහොර භාවිතය අඩු කිරීම සිදු කළ යුත්තේ දිගුකාලීනව බව යි.

කෙසේ වෙතත් හටගත් පොහොර හිඟයත් සමග ඇතැම් ගොවීන් කෘෂි කර්මාන්තය අතහැර දැමූ අතර ඇතැමුන් රසායනික පොහොර නොමැතිව කළ වගාවන් අස්වනු ලබා ගත නොහැකි අන්දමට දුර්වල වී තිබුණා.

නැනෝ බලාපොරොත්තුව

මෙවන් පසුබිමක මෙරට ගොවීන් උදෙසා ගෙන්වූ බවට සඳහන් වූ “නැනෝ නයිට්‍රජන් පොහොර” පිළිබඳව ගොවීන් තුළ හටගත්තේ අලුත් බලාපොරොත්තුවක්.

නමුත් එම බලාපොරොත්තුව ද බොඳ වෙන ආකාරයේ සිදුවීම් පෙළක් මේවන විට සිදු වෙමින් පවතිනවා.

නැනෝ නයිට්‍රජන් පොහොර ලබා ගැනීම සඳහා සූදානමින් සිටි බොහෝ ගොවීන්ට ලබා දී ඇත්තේ වෙනත් දියර පොහොරක් බව යි වාර්තා වන්නේ.

ඇතැම් ගොවීන් තමන්ට ලැබුණු පොහොර බඳුන්වල “නැනෝ” වචනය සොයන අයුරු ද දක්නට ලැබුණා.

“කාබනික දියර පොහොර කියලා තියෙන්නේ. නෑ නෑ.. කොහෙවත් නැනෝ කියලා නම් ගහලා නෑ. මොනවා වෙයිද දන්නෑ ඉතින්. අපි මැරෙයිද දන්නෙත් නෑ මෙව්වා ගහලා”

එමෙන්ම ගොවීන් චෝදනා කරන්නේ තමන්ට ලබා දුන් එම පොහොර වර්ගය ද සිය වගාවට නොගැලපෙන බව යි.

“දවස් 45ට පස්සෙ ගහන්න ඕනෙ පොහොර ටික අද දවස් 07 පැනපු ගොයමට ගහන්න දීලා තියෙනවා”

තවත් ගොවි මහතෙකු මෙලෙස අදහස් පළ කළා.

“මේවා දැන් ගහන්න බෑ. බණ්ඩි පොහොර ගහන්නේ දවස් 45න් නේ. මේවා කිසි වැඩක් නෑ. මේවා අරන් ගිහිල්ලා විසිකරලා දානවා. මේවා අර දෙන හින්දා අරන් යනවා”

පොහොර අස්සේ මාළු බොකු

මේ අතර මෙලෙස ගොවීන්ට ලබා දුන් දියර පොහොර වර්ගය තුළ මත්ස්‍ය අතුණු බහන් ද (මාළු බොකු) පවතින බව ගොවීන් පවසනවා.

එම දියර පොහොර තුළ මත්ස්‍ය සිරුරු කැබලි ද පැවතීම නිසා පොහොර ඉසින යන්ත්‍ර යොදාගෙන වගාවන් වෙත පොහොර ඉසීම ද සිදු කළ නොහැකි වී ඇති බව ද ඔවුන් පෙන්වා දෙනවා.

කැබලි සිරවීම නිසා පොහොර ඉසීමේ යන්ත්‍ර ද අක්‍රීයවන බව යි ඔවුන් පවසන්නේ.

ගඳ ඉවසන්න බෑ

මෙම දියර පොහොර වර්ගයෙන් ඉවසා සිටිය නොහැකි තරම් දුර්ගන්ධයක් වහනයවන බවට ද ගොවීන් චෝදනා නගනවා.

එමෙන්ම මෙම පොහොර සිය වගාවන් වෙත යෙදීමෙන් අනතුරුව එම වගා භූමි වෙත යා නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව ද ඔවුන් පවසනවා.

අධික දුර්ගන්ධයක් වහනයවන බැවින් මෙම තත්ත්වය හටගෙන ඇති බව යි ගොවීන් පෙන්වා දෙන්නේ.

මේ සම්බන්ධයෙන් හුරුළුවැව ගොවි මහතෙකු මෙලෙස අදහස් පළ කළා.

“කෘෂි කර්ම ඇමතිවරයාට ඉවසන්න පුළුවන් වුණාට සාමාන්‍ය ගොවි ජනතාවට ඉවසන්න බැරි ගඳක් ඇත්තටම තියෙන්නේ. මේකෙ තියෙන්නේ මොනවද, මොන අපද්‍රව්‍යවලින්ද හදන්නෙ කියලා වත් මේකේ ලේබලේ සටහන් කරලා නෑ”

ඇතැම් ගොවීන් පවසන්නේ මෙම දියර පොහොරෙහි ඇති දුර්ගන්ධය නිසාම එය වගාවට දැමීම ද සිදු කළ නොමැති වී ඇති බව යි.

“අපිට කුඹුරු කරන්න මේ සැරේ විශ්වාසයක් නෑ. මොනවා කරන්නද? නැනෝ කියලා වෙන දියරයක් දීලා තියෙන්නේ. ගඳේ ඉන්න බෑ ඒක. ඒක ගහන්නත් බැරිවෙයි”

තවත් ගොවියෙකු සංවේදී ලෙස මෙලෙස ප්‍රකාශ කළා.

“මේ තියෙන දියර පොහොර ප්‍රමිතියක් නෑ. කවුද ප්‍රමිතිය සහතික කරලා තියෙන්නේ? මේවා ගඳයි. ඒක හින්දා ගොවියෝ කියනවා මේවා ගහන්න බෑ කියලා. මේවා ඉතාමත් දුර්ගන්ධයි, කලන්තෙ හැදෙනවා කියනවා. මේ ගොවිතැන අපි එදා කළේ භක්තියෙන්, ආදරයෙන්, ගෞරවයෙන්. කුඹුරකට ගියෙ ආසාවෙන්. අද කුඹුර පැත්ත පළාතෙ යන්න බෑ. කුඹුරට යන්න මතක්වෙනකොට ඔලුවරදේ හැදෙනවා”

කෑන්වල අසූචිදැයි සැකයක්

මේ අතර මෙම දුර්ගන්ධය හේතුවෙන් ගොවියන් සැක කරන්නේ කාබනික දියර පොහොර ලෙස හඳුන්වන මෙය නිපදවන්නට ඇත්තේ අසූචිවලින් බව යි.

හිඟුරක්ගොඩ ගල්අමුණ ගොවිජනපදයේ ගෙවිළියක් මෙලෙස සිය අදහස් පළ කළා.

“මේ නැනෝ කියලා එවලා තියෙන්නෙ මොකද්ද අපිට? තනිකර ලැට් එකක් එවලා තියෙන්නේ. ඉන්න බෑ ගඳ. මාස්ක් එකක් දාගත්තත් ඉවසගන්න බෑ. කෙළ ගගහා ඉන්නේ. මේවාද මේ අපිට දීලා තියෙන්නේ. මුන්ට හෙණම ගහන්න ඕනේ”

මැදිරිගිරිය ගොවි මහතෙක් ද මෙලෙස පැවසුවා.

“කාබනික පොහොර කියලා ටොයිලට් ගොඩදාලා ගෙනත් දීලා. ඒවා කුඹුරුවලට ගහලා මේ කුඹුරු ගොඩක් මැරිලා. මහින්දානන්දටයි පාර්ලිමේන්තුවටයි පොවන්න මේ අසූචි අරන් ගිහිල්ලා

තවත් ගෙවිළියක් පළ කළේ මෙවැනි අදහසක්.

“ටොයිලට්වලින් ගොඩ ඇදලා දෙනවද කවුද දන්නේ. අපි දන්නෙ නෑනෙ කියන්න”

බකමූණ ප්‍රදේශයේ ගොවීන්ගේ ද අදහස වී ඇත්තේ මෙම පොහොර තුළ අසූචි ඇති බව යි.

“මේකෙ තනිකරම අසූචි වතුරද කොහෙද තියෙන්නේ. මේවා එවලා තියෙන්නේ ගොවියාට වැඩක් කරන්නද, ගොවියො විනාශ කරන්නද දන්නේ නෑ. ගොවියෝ මරාගෙන කන වැඩක් මේක”

ගොයම කන්න අලුත් සතෙක්

පොහොර නොමැති වීම හේතුවෙන් පීඩා විඳිමින් සිටි ගොවීන්ට මේ ආකාරයේ අධික දුර්ගන්ධයක් විඳීමට සිදුව ඇති අතර එම දුර්ගන්ධ ගැටළුවත් සමග තවත් අලුත් ගැටළුවක් ද පැන නැගී තිබෙනවා.

ඒ, තම ගොවි ජීවිතයේ සුපුරුදු පළිබෝධකයන්ට අමතරව තවත් අලුත් පළිබෝධකයෙකුගෙන් වගාව ආරක්ෂා කර ගැනීමටයි ඔවුන්ට සිදුව ඇත්තේ.

එම පළිබෝධකයින් වන්නේ සුනඛයින්.

නැනෝ නයිට්‍රජන් පොහොර වෙනුවට ලබාදුන් දියර පොහොර වර්ගය වගාවන්ට යෙදීමෙන් අනතුරුව එහි දුර්ගන්ධයට සුනඛයින් ඇදී එන බව ගොවීන් පවසනවා.

එමෙන්ම නරක් වූ මත්ස්‍ය අතුණු බහන් ආදිය සුනඛයින් පැමිණ ආහාරයට ගන්නා බවත්, එම දියර පොහොර යෙදූ පසු ඒවා තැවරී ඇති ගොයම් පැළ සහ අනිකුත් වගාවන්හි භෝග පැළ ද සුනඛයින් විසින් ආහාරයට ගැනීමට පෙළඹී ඇති බවත් ගොවීන් පෙන්වා දෙන්නේ දැඩි කෝපයෙන්.

“කුඹුරෙ ඉන්න බෑ ගඳයි. බල්ලෝ ඇවිල්ලා ගොයම් ගසුත් එක්ක කනවා. බල්ලොන්ට කන්න අපිට මහන්සි වෙන්න බෑනෙ. කරුණාකරලා අරගෙන යන්න මේ පොහොර. අරන් ගිහිල්ලා අපිට වන්දියක් දෙන්න”

එලෙස ප්‍රකාශ කළේ මැදිරිගිරිය ප්‍රදේශයේ ගොවි මහතෙක්.

තවත් ගොවි මහතෙකු සිය අත්දැකීම් විස්තර කළේ මේ අයුරින්.

“මේවායේ මාළු බොකු තියෙන්නේ. මේවා ගඳයි. කිට්ටු කරන්න බෑ. මේවා ගොඩ බෝගවලට කිහිපදෙනෙක් ගහලා තියෙනවා. මිරිස්වලට ගැහුවම බල්ලෝ කාලා මිරිස් ගස් ටික ඔක්කොම. බල්ලො කන්නේ මේවයෙ තියන ගඳට”

හුරුළුවැව ගොවි මහතෙකු ද මෙලෙස අදහස් පළ කළා.

“මොනරුන්ගෙන්, අලින්ගෙන්, අනිත් සත්තුන්ගෙන් අපි මේ ගොවිතැන බේරගන්නේ. දැන් එහෙම නෙවෙයි වෙලා තියෙන්නේ. දැන් මේක ගහපු ගමන් බල්ලෝ කනවා ගොයම් ගස්. උන්ගෙන් තමයි දැන් අපිට ගොයම බේරගන්න වෙන්නේ”

දියර පොහොරෙන් තවත් හානි

මේ අතර නැනෝ නයිට්‍රජන් පොහොර වෙනුවට ගොවීන් වෙත ලබා දුන් කාබනික දියර පොහොර හේතුවෙන් සියවගාවන්ට හානි සිදුව ඇතැයි ද ඇතැම් ප්‍රදේශවල ගොවීන් චෝදනා නගනවා.

පොළොන්නරුව ප්‍රදේශයේම නිෂ්පාදිත දියර පොහොර වර්ගයක් නැනෝ නයිට්‍රජන් වෙනුවට තමන් වෙත ලබා දුන් බව යි එම ඉරණමට ගොදුරු වී ඇති මැදිරිගිරිය, යාය 05, දිග්ගල්පුර ප්‍රදේශයේ ගොවීන් පවසන්නේ.

එම පොහොර වර්ගය භාවිත කිරීමෙන් අනතුරුව ගොයම් ගස් විනාශ වී ඇති බව යි ඔවුන් පෙන්වා දෙන්නේ.

පොහොර නොමැතිව වගා කළ කාලයේ ගොයම් ගස් පසෙහි සාරයෙන් හෝ වැඩෙමින් තිබූ නමුත් තමන් වෙත ලබා දුන් කාබනික දියර පොහොර වර්ගය යෙදීමෙන් පසු පසෙහි සාරය ද නැති වී ඇතැයි තමන්ට සැක සිතෙන බව ගොවීන් පවසනවා.

“දියර පොහොර ගහන්න ඉස්සරවෙලා ගොයම් ගහ නිල්ලට තිබ්බා පොළවෙ සාරයෙන්. දැන් පොළවෙ සාරයත් නැතුව ගියා මේක ගැහුවට පස්සේ. ගොයම් ගහ සම්පූර්ණයෙන්ම දියවෙලා යනවා”

පුපුරන පොහොර

මේ අතර කාබනික දියර පොහොර බවට පවසමින් ගොවීන්ට ලබා දී ඇති පොහොර වර්ගය සම්බන්ධයෙන් පැන නැගී ඇති තවත් ගැටළුවක් වන්නේ එම දියරය පිරවූ කෑන් ඉදිමී පුපුරා යාම යි.

පදවිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ගබඩා කර තිබූ දියර පොහොර කෑන් තොගයක් පුපුරා ගිය බව දින කිහිපයකට පෙර ද වාර්තා වූවා.

එමෙන්ම ගිරාඳුරුකෝට්ටේ උල්හිටිය ගොවීන් ද චෝදනා නගන්නේ තමන්ට ලබා දුන් දියර පොහොර කෑන් ඉදිමී ඇති බව යි.

ඉදිමුණු එම කෑන්වල ඇති මූඩි ගැලවී විසිවෙන බවත්, දියර පොහොර ද කාන්දුවන බවත් ඔවුන් පෙන්වා දෙනවා.

සිය අත්දැකීම පිළිබඳ ගොවි මහතෙකු මෙලෙස පැහැදිළි කළා.

“අට වෙනිදා තමයි පොහොර ගෙනල්ලා බෑවේ. ඉදිමුම් ගතිය තියන ඒවා මූඩිය පුපුරලා විසිවෙනවා. අද උදේ මම ගබඩාවට එනකොට මූඩි හැමතැනම විසිරිලා තිබ්බා”

එමෙන්ම ඇළහැර, බකමූණ, අතරගල්ලෑව උතුර ගොවීන් වෙත බෙදා දීම සඳහා එවා තිබූ කාබනික දියර පොහොර කෑන් තොගයක් ද පුපුරා දැඩි දුර්ගන්ධයක් පැතිර යමින් පවතින බව වාර්තා වූවා.

අදාළ ගබඩාවේ ඇති තවත් පොහොර කෑන් තොගයක් දැඩි ලෙස ඉදිමී පුපුරා යාමට ආසන්න තත්ත්වයේ පවතින බව ද සඳහන්.

“මේක ගන්දස්සාරේ බෑ. මේ මූඩි ගැලවිලා උඩ විසික්වෙනවා. මේ බූලිය තනිකර ඉදිමිලා තියෙන්නේ. මේක බිම තියන්නත් බෑ. දැන්වත් විස්වාස නෑ. කොයි වෙලේ පුපුරයිද දන්නෙ නෑ”

ඉදිමුණූ පොහොර කෑන් බඳුනක් පෙන්වමින් ගොවියෙකු එලෙස පැවසුවා.

මේ අතර මෙම ගැටළුව සම්බන්ධව දැනුම් දීම සඳහා අදාළ කෑන්වල සඳහන් කොට ඇති දුරකතන අංක වෙත ගොවියන් ඇමතුම් ලබා ගත් නමුත් එම ඇමතුම්වලට කිසිදු ප්‍රතිචාරයක් ලැබුණේ ද නැහැ.

ගලෙන්බිඳුණුවැව ගොවීන් සඳහා බෙදා දීමට රැගෙන එමින් තිබූ දියර පොහොර, ගබඩා වෙත ලඟා වීමටත් පෙර ලොරි රථ තුළ දීම පුපුරා ගොස් තිබුණා.

එම ලොරි රථය ආසන්නයට හෝ ලඟාවීමට නොහැකි තරම් දුර්ගන්ධයක් එහි පැවැතුණා.

ලොරි රථයෙන් පොළවට වෑස්සුණු දියර පොහොර සුනඛයන් පැමිණ අනුභව කරන ආකාරයයි දක්නට ලැබුණේ.

එමෙන්ම අනුරාධපුර, කරුවළගස්වැව, ඉලුක්ගොඩයාගම පොහොර ගබඩාවට රැගෙන ආ පොහොර කෑන් ද පුපුරා ගොස් තිබූ අතර එහි ද පැවතුණේ අධික දුර්ගන්ධයක්.

පොහොර ගබඩාව වටා ද සුනඛයන් එක් රොක් වී සිටි අතර ඇතැම් පොහොර කෑන් සුනඛයන් පැමිණ ලෙවකමින් සිටින අයුරු ද දක්නට ලැබුණා.

එම පොහොර ලබා ගැනීම සඳහා පැමිණ සිටි ගොවීන් අදාළ පොහොර ලබා ගැනීම ප්‍රතික්ෂේප කළා.

පොහොරවලට ගොවියන් බිය වෙයි

මේ අතර හුරුළුවැව ප්‍රදේශයේ ගොවි මහතෙකු සඳහන් කළේ මෙවන් තත්ත්වයක් මත මෙම පොහොර කෑන් නිවෙස් වෙත රැගෙන යාමට ද තමන් බිය වී ඇති බව යි.

“පුපුරන නිසා අපි ගෙදර අරන් ගියෙත් නෑ මේක. අරන් ගිහින් කුඹුරෙ තිබ්බා. උදේ ගිහිල්ලා බලනකොට මූඩිය ගැලවිලා විසික්කා වෙලා”

තවත් ගෙවිළියක් පළ කළේ මෙවැනි අදහසක්.

“එක පැත්තකින් ගෑස් පුපුරද්දී තව පැත්තකින් පොහොර දෙන ඒවා පුපුරනවා. ඔහොම කවදාවත් වෙච්චි නැති දේවල්නේ මේවා”

පොහොර රැගෙන යමින් සිටි ගොවි මහතෙකු ද මේ අයුරින් අදහස් පළ කළා.

“දැන් බෝම්බ අතේ තියාගෙන ඉන්නේ ගොවියා. කුස්සියේ ඉන්න අම්මාට බෝම්බ දුන්නා ගෑස් ගෙනල්ලා. ගොවියටත් දුන්නා බෝම්බයක් අතටම. කාබනික දියර පොහොර කියලා බෝම්බ අරන් යන්නේ දැන්. මේක මගදි පුපුරලා අපි විනාස වෙයිද දන්නෑ”

මෙවන් තත්ත්වයක් මත එක් ගොවි මහතෙකු කනස්සල්ලෙන් පවසා සිටියේ මේ ආකාරයේ අදහසක්.

“මේ රටේ සල්ලි නාස්ති කරන විදිහ. කොමිස් අරගෙන කොම්පැනිවලින්. මේ රජය කොම්පැනිකාරයන්ට තමයි මේ අවස්ථාව දීලා තියෙන්නේ. සල්ලි තියන මිනිස්සුන්ට සල්ලි හම්බ කරගන්න තමයි හැමදේම කරලා තියෙන්නේ. දුප්පත් අපි ගැන හිතපු එකෙක්වත් නෑ”

Rate this item
(0 votes)
Last modified on Wednesday, 15 December 2021 01:35