April 18, 2024

"අල්ලා ඉන්නේ මුස්ලිම්වරු වෙනුවෙන් විතරක් නෙවෙයි" - ප්‍රියන්තව සැමරූ උළෙලේ දී ඉම්රාන් කියයි (VIDEO)

December 08, 2021

පාකිස්තානයේ සියල්කොට්හී දී අමානුෂික ලෙස ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ දේහය පිළිබඳ අවසාන කටයුතු අද (08) සවස සිදු කිරීමට නියමිතව තිබෙනවා.

පෙරේදා (06) පාකිස්තානයේ සිට පැමිණි ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් යානයකින් මෙරටට රැගෙන ආ ඒ මහතාගේ සිරුරු කොටස් ඊයේ (07) අළුයම ගණේමුල්ල ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසට රැගෙන ආවා.

එතැන් සිට දේශපාලනඥයින්, ආගමික නායකයින් ඇතුළු විශාල පිරිසක් ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා එහි පැමිණියා.

දේහය පිළිබඳව අවසන් කටයුතු සිදු කිරීමට නියමිතව ඇත්තේ ගණේමුල්ල, පොල්හේන පොදු සුසාන භූමියේ යි.

බේරාගන්නට ආ මිතුරා ඇගයීම

මේ අතර දියවඩන මහතාව බේරා ගැනීමට ඉදිරිපත් වූ මලික් අද්නාන් මහතාට ඇගයීමේ සහතිකයක් ලබා දීමට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් කටයුතු කළා.

ඒ ඉස්ලාමාබාද් නුවර විශේෂ උත්සවයක් පවත්වමින්.

මෙම උත්සවය සංවිධානය කර තිබුණේ ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ ඝාතනයට ශෝකය පළ කිරීම සඳහා යි.

Image

තමන් සොයා ආ අන්තවාදී ඉස්ලාමීය කණ්ඩායමෙන් සිය දිවි බේරා ගැනීම සඳහා සිය සේවා ස්ථානයේ වහළය මත නැග සිටි දියවඩන මහතා වෙත අදාළ කණ්ඩායම පැමිණ පහර දෙන අවස්ථාවේ දී මලික් අද්නාන් මහතා විසින් දියවඩන මහතාව ආරක්ෂා කර ගැනීමට දැඩි පරිශ්‍රමයක් ගන්නා අයුරු එම අවස්ථාවේ ගන්නා ලද වීඩියෝවල දැක්වෙනවා.

එක් වීඩියෝවක දැක්වෙන්නේ මලික් අද්නාන් මහතා අන්තවාදීන් වෙත ගොස් එරට භාෂාවෙන් කරුණු පැහැදිළි කරන අන්දමයි.

ඔහු එහි දී තම ජීවිතය ද පරදුවට තබන ආකාරයක් නිරීක්ෂණය වන්නේ.

එමෙන්ම අන්තවාදීන් විසින් ඔහුට ද පහර දෙන ආකාරය ද දක්නට ලැබෙනවා.

ඔහු දියවඩන මහතා සමග අදාළ කර්මාන්ත ශාලාවේ සේවය කළ අයෙකු බව සඳහන්.

එමෙන්ම පාකිස්තානයේ සිවිල් පුරවැසියෙකුට සිය අභීත බව සඳහා ලැබිය හැකි ඉහළතම සම්මානයවන “තම්ඝා ඉ ෂුජාත්” සම්මානය සඳහා ද අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා මලික් අද්නාන් මහතාගේ නම යෝජනා කර තිබෙනවා.

මීලඟ පාකිස්තාන නිදහස් දින උළෙලේ දී එය ඔහුට පිරිනැමෙනු ඇති බව සඳහන්.

ඉම්රාන් කියන දේ

මෙම උත්සවයට ප්‍රථම ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍යවරයා ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ ඡායාරූපයකට පුෂ්පෝපහාර ද දැක්වූවා.

ඔහු පමණක් නොව එරට උලමා සභාවේ ඉහල තනතුරු දරන්නන්, දේශපාලනඥයින් ආදීහු ද මෙම පුෂ්පෝපහාර උළෙලට සහභාගී වී තිබුණා.

උත්සවය අමතමින් පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා පවසා සිටියේ මලික් අද්නාන් වැනි චරිත සමාජයට අවශ්‍ය බව යි.

කායික බලයට වඩා සදාචාරාත්මක බලය වැදගත්වන බවත්, මලික් අද්නාන්ගේ ක්‍රියාව පාකිස්තාන තරුණ ප්‍රජාව විසින් සිය මතකයේ රඳවාගනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ඔහු පවසනවා.

එමෙන්ම සියල්කොට්හි වෙළඳ ප්‍රජාව විසින් දියවඩන මහතාගේ පවුල වෙත ඩොලර් ලක්ෂයක ප්‍රදානයක් සිදු කෙරෙනු ඇති බව යි ඔහු සඳහන් කළේ.

එමෙන්ම ඒ මහතාගේ මාසික වැටුප ද අඛණ්ඩව ගෙවීමට  දියවඩන මහතා සේවය කළ සමාගම තීරණය කර ඇති බව ද අගමැතිවරයා එහි දී පැවසුවා.

පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ අල්ලා දෙවියන් සිටින්නේ මුස්ලිම්වරුන් සඳහා පමණක් නොව මුලු මනුෂ්‍ය වර්ගයාම වෙනුවෙන් බව යි.

එම නිසා මින් ඉදිරියට ආගමේ නාමයෙන් ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කිරීමට හෝ ඒවා සාධාරණීකරණය කිරීමට පාකිස්තාන ජාතිය ඉඩ ලබා නොදිය යුතු බව ද ඔහු සඳහන් කරනවා.

එමෙන්ම තමා ජීවත්ව සිටින තෙක් මෙවැනි දෙයක් යළි සිදු වීමට ඉඩ ලබා නොදෙන බව යි පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

කෙසේ වෙතත් පාකිස්තාන ආරක්ෂක අමාත්‍යවරයා මෙම ඝාතනය සාධාරණීකරනයවන අයුරින් ප්‍රකාශ නිකුත් කරන ආකාරය ද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණා.

ආගමික පරිසරයක් තුළ ජීවත්වන පසුබිමක තරුණ දරුවන් මෙවැනි දෑ කිරීමට පෙළඹීම සාමාන්‍ය දෙයක් බවට යි ඔහු පවසා ඇත්තේ.

මෙරටිනුත් ආධාර

මේ අතර විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සේවක සුබසාධක අරමුදල මගින් ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ පවුල වෙත රුපියල් මිලියන 2.5ක මුදලක් ප්‍රදානය කිරීමට සූදානම්වනවා.

ඒ සඳහා කැබිනට් අනුමැතිය ද ලැබී ඇති බව සඳහන්.

කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේ දියවඩන මහතා වසර 11ක් තිස්සේ මෙරට ආර්ථිකයට සිදු කළ දායකත්වය වෙනුවෙන් එම මුදල ලබා දෙන බව යි.

උලමාවරුන්ගේ කතාව

මේ අතර පාකිස්තානයේ ඉස්ලාමීය උලමාවරුන් එරට ශ්‍රී ලංකා මහකොමසාරිස් වයිස් අද්මිරාල් මොහාන් විජේවික්‍රම මහතා මුණගැසී තිබෙනවා.

ඔවුන් පවසා ඇත්තේ තමන් මෙම සිදුවීම සම්බන්ධයෙන් දැඩි සේ කණගාටුවන බව යි.

එමෙන්ම පසුව මාධ්‍ය හමුවක් අමතමින් උලමාවරුන් කියා සිටියේ මෙය ම්ලේච්ඡ අපරාධයක් බව යි.

මෙය කිසිම ආකාරයකින් සාධාරණීකරණය කිරීමට නොහැකි බව ද ඔවුන් පවසනවා.

එමෙන්ම රටක් ලෙස තමන් බොහෝ සෙයින් ලැජ්ජාවට පත්වන බවත් සිද්ධිය සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීමට කටයුතු කරන ලෙස තමන් පාකිස්තාන රජයෙන් ඉල්ලා සිටින බවත් උලමාවරුන් පවසනවා.

මේ අතර ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා පවසා ඇත්තේ මෙම සිද්ධිය පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර ඇති මිත්‍රත්වයට කිසිදු ආකාරයක බාධකයන් නොවන බව යි.

අගමැතිගේ සාකච්ඡාව

මේ අතර පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් එරට හමුදා සහ සිවිල් නායකත්වය සමග ඉහළ පෙලේ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

මෙම සිදුවීම පදනම් කොට ගෙන මුලු රටෙහිම ආරක්ෂාව පිළිබඳ ඇගයීමක් කළ යුතු බවට යි අග්‍රාමාත්‍යවරයා එහි දී පවසා ඇත්තේ.

එමෙන්ම මෙවැන්නක් යළි සිදු වීමට ඉඩ නොතැබිය යුතු බවත් ඔහු අවධාරණය කර ඇති බව සඳහන්.

ප්‍රධාන සැකකරු

ප්‍රියන්ත කුමාර දියවඩන මහතා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධානම සැකකරු අත්අඩංගුවට ගත් බව පන්ජාබ් පොලීසිය සිය ට්විටර් ගිණුම ඔස්සේ නිවේදනය කර තිබෙනවා.

මෙම ඝාතනයට වඩාත්ම අවශ්‍ය කර සිටි අපරාධකරු ද මොහු බව එහි සඳහන්.

පන්ජාබ් පොලීසිය පවසන්නේ ඔහු ඉමිතියාස් නොහොත් බිල්ලී නමින් හැඳින්වෙන්නෙකු බව යි.

පසුගිය දින කිහිපය තිස්සේම සැඟවෙමින් පොලීසිය මගහැර සිට ඇති ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ රාවල්පින්ඩි නුවර වෙත බස් රථයකින් පළා යමින් සිටියදි යි.

සිද්ධියට සම්බන්ධ වීඩියෝවල අදාළ පුද්ගලයා මුගුරකින් ප්‍රියන්ත කුමාර මහතාට අමානුෂික ලෙස පහර දෙන අයුරු පැහැදිළිව දක්නට ලැබෙනවා.

මේ අතර පසුගිය පැය කිහිපය ඇතුළත මෙම ඝාතනයට ඍජු සබඳතා ඇති තවත් පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද පන්ජාබ් පොලීසිය පවසනවා.

Image

Rate this item
(0 votes)
Last modified on Wednesday, 08 December 2021 17:07