March 28, 2024

ප්‍රියන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු අල්ලයි (PHOTOS)

December 07, 2021

පාකිස්තානයේ, සියල්කොට්හී දී ප්‍රියන්ත කුමාර දියවඩන මහතා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධානම සැකකරු අත්අඩංගුවට ගත් බව පන්ජාබ් පොලීසිය සිය ට්විටර් ගිණුම ඔස්සේ නිවේදනය කර තිබෙනවා.

මෙම ඝාතනයට වඩාත්ම අවශ්‍ය කර සිටි අපරාධකරු ද මොහු බව එහි සඳහන්.

පන්ජාබ් පොලීසිය පවසන්නේ ඔහු ඉමිතියාස් නොහොත් බිලී නමින් හැඳින්වෙන්නෙකු බව යි.

පසුගිය දින කිහිපය තිස්සේම සැඟවෙමින් පොලීසිය මගහැර සිට ඇති ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ රාවල්පින්ඩි නුවර වෙත බස් රථයකින් පළා යමින් සිටියදි යි.

සිද්ධියට සම්බන්ධ වීඩියෝවල අදාළ පුද්ගලයා මුගුරකින් ප්‍රියන්ත කුමාර මහතාට අමානුෂික ලෙස පහර දෙන අයුරු පැහැදිළිව දක්නට ලැබෙනවා.

මේ අතර පසුගිය පැය 12 ඇතුළත මෙම ඝාතනයට ඍජු සබඳතා ඇති තවත් පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද පන්ජාබ් පොලීසිය පවසනවා.

Image

ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ සිරුරු කොටස් කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආවේ ඊයේ (06) සන්ධ්‍යාවේ යි.

ලාහෝර් ගුවන් තොටුපොලෙන් පිටත් වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL-186 දරණ ගුවන් යානයෙන් ඒ මහතාගේ සිරුරු කොටස් මෙරටට ආ අතර ලාහෝර් ගුවන් තොටුපොළේ දී ගුවන් යානය වෙත සිරුරු කොටස් භාර දීමේ අවස්ථාවට පාකිස්තාන උලමා සභාවේ ප්‍රධානීන් සහ එරට රජය නියෝජනය කළ මැති ඇමතිවරු කිහිප දෙනෙකු ද සහභාගී වී තිබුණා.

ඔවුන් දියවඩන මහතාගේ සිරුරු කොටස් සහිත පෙට්ටිය මලින් සරසා ඇති අයුරු ද දක්නට ලැබුණා.

දියවඩන මහතාගේ සිරුරෙහි අවශේෂ ඒ මහතාගේ නිවසට රැගෙන ආවේ අද (07) අළුයම් කාලයේ යි.

මෙරට දී ද මරණ පරීක්ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව එලෙස සිරුරු කොටස් ඔහුගේ නිවසට රැගෙන ආවා.

දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ආගමික නායකයින්, දේශපාලනඥයින් ඇතුළු විවිධ පිරිස් පැමිණියා.

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා දියවඩන මහතාගේ නිවස වෙත පැමිණ තිබුණා.

සිරුර පිළිබඳ පළමු පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වුණේ සියල්කොට් නුවර රෝහලේ දී යි.

අනතුරුව එය ලාහෝර් රෝහල වෙත එවා තිබුණා.

ලාහෝර් රෝහලෙහි මෘත ශරීරාගාරයේ තැන්පත් කොට තිබූ ඒ මහතාගේ දේහයේ කොටස් ඊයේ (06) පෙරවරුවේ ලාහෝර් ගුවන් තොටුපොළ වෙත රැගෙන එනු ලැබුවා.

මරණ පරීක්ෂණයෙන් හෙළි වූ දේ

සියල්කොට් නුවර කවාජා මුහම්මද් සෆ්දාර් රෝහලෙහි සිදු කළ මරණ පරීක්ෂණයෙන් හෙළි වී ඇත්තේ දියවඩන මහතාගේ සිරුර හිසෙහි සිට පාදාන්තය දක්වා දැඩිව පිළිස්සී ඇති බවට යි.

එමෙන්ම අභ්‍යන්තර සිරුරු කොටස්වලට ද දැඩි හානි සිදුව ඇති බව අදාළ මරණ පරීක්ෂණ වාර්තාවෙහි දැක්වෙනවා.

එම වාර්තාවෙහි වැඩිදුරටත් දැක්වෙන්නේ සිරුර කොටස්වලට කැපී වෙන්වී තිබුණු අතර එම කොටස් යළි සකස් කර ලාහෝර් පොලීසිය වෙත භාර දීමට කටයුතු කළ බව යි.

ඝාතකයෝ

මේ අතර මෙම ඝාතනය සම්බන්ධයෙන් මේවන විට පුද්ගලයන් 230 දෙනෙකුට වඩා අත්අඩංගුවට පත්ව ඇති බව පාකිස්තාන පුවත් වාර්තා පෙන්වා දෙනවා.

ඇතැම් පුවත් වාර්තා සඳහන් කරන්නේ ඔවුන්ගෙන් බහුතරය වයස අවුරුදු 30ට අඩු තැනැත්තන්වන අතර ළමා වයසෙහි පසුවන්නන් ද ඒ අතර සිටින බව යි.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉන් 13 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කොට තිබෙනවා.

ඔවුන් ඊයේ (06) දින ත්‍රස්ත මර්ධන අධිකරණයට ද ඉදිරිපත් කෙරුණා.

බේරා ගැනීමට ආ මිතුරා

මේ අතර තමන් සොයා ආ අන්තවාදී ඉස්ලාමීය කණ්ඩායමෙන් සිය දිවි බේරා ගැනීම සඳහා සිය සේවා ස්ථානයේ වහළය මත නැග සිටි දියවඩන මහතා වෙත අදාළ කණ්ඩායම පැමිණ පහර දෙන අවස්ථාවේ දී ඔහුව බේරා ගැනීමට ඉදිරිපත්වන පුද්ගලයෙකු මෙම සිද්ධිය දැක්වෙන වීඩියෝවල දක්නට ලැබෙනවා.

එක් වීඩියෝවක දැක්වෙන්නේ එම පුද්ගලයා අන්තවාදීන් වෙත ගොස් එරට භාෂාවෙන් කරුණු පැහැදිළි කරන අන්දමයි.

පසුව පහර දීමට ලක්ව තුවාළ ලබා ලේ ගලමින් සිටින දියවඩන මහතාව ආරක්ෂා කර ගැනීමට අදාළ පුද්ගලයා උත්සහ දරණ අන්දම තවත් වීඩියෝව දැක්වෙනවා.

ඔහු එහි දී තම ජීවිතය ද පරදුවට තබන ආකාරයක් නිරීක්ෂණය වන්නේ.

එමෙන්ම අන්තවාදීන් විසින් ඔහුට ද පහර දෙන ආකාරය ද දක්නට ලැබෙනවා.

මලික් අද්නාන්

පසුව අනාවරණය වී ඇත්තේ අදාළ පුද්ගලයා මලික් අද්නාන් නමැත්තෙකු බව යි.

ඔහු දියවඩන මහතා සමග අදාළ කර්මාන්ත ශාලාවේ සේවය කළ අයෙකු බව සඳහන්.

මේ අතර සිය ට්විටර් ගිණුම ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සඳහන් කරන්නේ අදාළ සිදුවීමේ දී අභීතව ධෛර්යමත් අන්දමින් කටයුතු කළ මලික් අද්නාන් හට ජාතියේත් තමන්ගේත් ආචාරය හිමිවන බව යි.

ඔහු‍ගේ එම ක්‍රියාව අගය කරමින් මලික් අද්නාන් මහතා හට “තම්ඝා ඉ ෂුජාත්” සම්මානය ලබා දීමට තමා කටයුතු කරන බව යි පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.

“තම්ඝා ඉ ෂුජාත්” යනු පාකිස්තාන සිවිල් පුරවැසියෙකුට සිය අභීත බව සඳහා ලැබිය හැකි දෙවැනි ඉහළතම සම්මානය වනවා.

ඉම්රාන් ගෝඨාභය අමතයි

තමන් ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දුරකතනයෙන් ඇමතූ බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා පෙරේදා (05) පැවසුවා.

සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කළා.

ශ්‍රී ලාංකිකයෙකු සිය රට තුළ දී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සියළු දෙනාට දඬුවම් ලබා දෙනු ඇති බවට ශ්‍රී ලංකා රජය සහ ජනතාව තබා ඇති විශ්වාසය උපරිම අයුරින් තහවුරු කරන බවට යි එහි දී ඉම්රාන් ඛාන් මහතා සඳහන් කර ඇත්තේ.

අපරාධයට සම්බන්ධ සිය ගණනක් මේවන විටත් අත්අඩංගුවට ගෙන ඇති බව ඔහු සඳහන් කර තිබෙනවා.

ඛාන් මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ අනෙකුත් අපරාධකරුවන් ද සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව යි.

දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ විශ්වාසය කිසිවිටෙක පළුදුවීමට ඉඩ නොතබන බව පාකිස්තාන අගමැතිවරයා පැවසූ බව මෙරට ජනාධිපති මාධ්‍ය අංශය ද සඳහන් කළා.

සිදුවීමට අදාළ සියලු වීඩියෝ දර්ශන සහ තොරතුරු මේ වන විට පාකිස්තාන ආරක්ෂක අංශ විසින් ලබාගෙන ඇති බවත්, ඒ හරහා මෙයට සම්බන්ධ සියළුම දෙනා අත්අඩංගුවට ගන්නා බවත් ඉම්රාන් ඛාන් මහතා සපථ කර තිබෙනවා.

එමෙන්ම අපරාධකරුවන්ට දෙවියන් වහන්සේගෙන් සමාවක් නොමැති බවත්, නීතියෙන්ද කිසිදු සමාවක් හිමි නොවන බවත්, ඉම්රාන් ඛාන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත වැඩිදුරටත් ප්‍රකාශ කළ බව යි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

ජාත්‍යන්තරයට ගිය ඝාතනය

පසුගිය 03 වැනි දා පාකිස්තානයේ සියල්කොට් නගරයේ දී ප්‍රියන්ත කුමාර දියවඩන මහතා ඝාතනය වීම පාකිස්තානය සහ ශ්‍රී ලංකාව තුළ පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ද ආන්දෝලනයක් බවට පත්ව තිබෙනවා.

දියවඩන මහතාව කෘෘර වදහිංසනයට ලක් කොට මරා දමන ආකාරය දැක්වෙන සංවේදී දර්ශන ඇතුළත් වීඩියෝ පට සමාජ ජාල තුළ සංසරණය වෙමින් පවතින අතර එනිසාම පාකිස්තානය වෙත ජාත්‍යන්තරයෙන් එල්ල වී ඇත්තේ දැඩි විරෝධයක්.

ප්‍රියන්ත කුමාර දියවඩන මහතා පාකිස්තානයේ කර්මාන්ත ආයතනයක කළමනාකාරවරයෙක් ලෙස කටයුතු කළ අයෙක්.

මේ අතර මෙම ඝාතනය පිටුපස ඇත්තේ ඉස්ලාම් අන්තවාදය බවට මේවන විට අනාවරණය වී තිබෙනවා.

පොලිස් ප්‍රධානියෙකුගේ අනාවරණය

නැගෙනහිර සියල්කොට් නුවර පොලිස් ප්‍රධානියෙකු රොයිටර් පුවත් සේවය වෙත මෙම ඝාතනය පිළිබඳ අනාවරණයක් සිදු කොට ඇති අතර ඔහු රොයිටර් පුවත් සේවයෙන් ඉල්ලා ඇත්තේ තම අනන්‍යතාව හෙළි නොකරන ලෙසට යි.

පෝස්ටරයක් ගලවා දැමීම හේතුවෙන් අදාළ ශ්‍රී ලාංකිකයා ඝාතනයට ලක්ව ඇති බව අදාළ පොලිස් ප්‍රධානියා ප්‍රකාශ කර තිබෙනවා.

අදාළ පෝස්ටරයේ ඉස්ලාමීය වැකි සඳහන් කර තිබූ බවයි ඔහු පවසන්නේ.

ශ්‍රී ලාංකික කළමනාකාරවරයාගේ එම ක්‍රියාවෙන් ඉස්ලාම් දහමට අපහාස වූ බව පවසමින් ඔහුට අමානුෂික ලෙස පහර දී ඝාතනය කර මහ මගදී සිරුර ද ගිනි තබා තිබුණා.

අමානුෂික ඝාතනය

එරට “රාජ්කෝ ඉන්ඩස්ට්‍රීස්” නමැති සමාගමට අයත් කර්මාන්ත ශාලාවක ප්‍රියන්ත දියවඩන මහතා සේවය කර ඇත්තේ ප්‍රධාන කළමනාකරු ධූරයේ යි.

අදාළ කර්මාන්ත ශාලාව තුළ පිහිටි සිය කාර්යාලය තුළ අලවා තිබූ පෝස්ටරයක් ගලවා දැමීමෙන් අනතුරුව විශාල පිරිසක් අදාළ කර්මාන්ත ශාලා භූමියට පැමිණ ප්‍රියන්තට වධ හිංසා පමුණුවා ඝාතනය කොට සිරුරට ගැනි තබා ඇති බවට යි රොයිටර් පුවත් සේවය අනාවරණය කරන්නේ.

ඔහු සේවය කළ ආයතනයේම සේවකයන් පිරිසක් ද ඝාතකයන් අතර සිටින බව සඳහන්.

සිරුර සමග සෙල්ෆිත් අරන්

ඝාතනය සිදු කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් ද පාකිස්තාන සමාජ ජාල තුළ සැරිසරන අතර ඉතා විශාල පිරිසක් ප්‍රියන්ත මහතාගේ ඇඳුම් ඉරා දමා ඔහුට පහර දෙන ආකාරය එහි දර්ශනය වනවා.

මියයන තෙක් ඔහුට ඒ ආකාරයෙන් වධ හිංසා පැමිණවීමෙන් අනතුරුව ඔහුගේ සිරුරට ගිනි තබන ආකාරය ද එහි දැක්වෙන අතර, අදාළ වීඩියෝවෙහි වැඩිදුරටත් දර්ශනය වන්නේ එම ස්ථානයේ සිටි විශාල පිරිසක් පැමිණ ප්‍රියන්ත මහතාගේ මළ සිරුර සමග සෙල්ෆි ඡායාරූප ද ගන්නා ආකාරය යි.

අගමැතිට ලැජ්ජයිලු

මේ අතර සියල්කොට්හි කර්මාන්තශාලාවක ශ්‍රී ලාංකික කළමනාකාරුවෙකු අමානුශික ලෙස ඝාතනය වීමේ සිද්ධිය පාකිස්තානයට මහත් ලැජ්ජාවක් බව එරට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා පවසනවා.

මේ පිළිබඳ වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසටත්, එම ක්‍රියාවලියේ දී කිසිදු අඩුපාඩුවක් සිදු වීමට ඉඩ නොමැති බවත් ඔහු අවධාරණය කර තිබෙනවා.

එමෙන්ම ආගමට අපහාස කළ බව පවසමින් ශ්‍රී ලාංකික කළමනාකාරවරයෙකු අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් සිය සංවිධානය ගැඹුරින් විමර්ශනය කරමින් සිටින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය ද පවසනවා.

ඝාතනය පිටුපස සංවිධානයක්

මේ අතර මෙම ඝාතනය පිටුපස TLP නමැති සංවිධානය සිටින බවට තොරතුරු වාර්තා වෙමින් පවතිනවා.

TLP නමින් හැඳින්වෙන්නේ ටෙහ්රීක්-ඊ-ලබ්බයික් පාකිස්තාන් (Tehreek-e-Labbaik Pakistan) නමැති සංවිධානයක්වන අතර එය එරට අන්තවාදී ඉස්ලාමීය කණ්ඩායමක් ලෙසට යි සැළකෙන්නේ.

එය 2015 වසරේ දී ආරම්භ වූ සුන්නි මුස්ලිම් සංවිධානයක් වනවා.

ප්‍රියන්ත දියවඩන මහතා ඝාතනය කෙරෙන අයුරු දැක්වෙන වීඩියෝවේ, අදාළ ඝාතනයට සම්බන්ධවන ඇතැමුන් TLP සංවිධානයේ පාඨ උච්ඡාරණය කරන අයුරු ද නිරීක්ෂණය වීම මෙම ඝාතනය පිටුපස අදාළ සංවිධානය සිටින බවට එක් සාධකයක් වී තිබෙනවා.

බොරු තහනම

ඉම්රාන් ඛාන් මහතාගේ ආණ්ඩුව විසින් TLP සංවිධානය තහනම් කිරීමට තීරණය කළ අතර එය ත්‍රස්ත සංවිධානයක් ලෙසට ද නම් කිරීමට පියවර ගැනුනා.

ආණ්ඩුවේ එම පියවරත් සමග TLP සංවිධානය පසුගිය ඔක්තෝබරයේ ලාහෝර් නුවර දරුණු ගැටුම් නිර්මාණය කළ අතර එහි දී පොලිස් නිලධාරින් 06ක් පමණ මරණයට පත් වූවා.

මෙම ගැටුම් හමුවේ ආණ්ඩුව අඩියක් පසුපසට ගෙන තීරණය කළේ TLP සංවිධානය මත පනවා තිබූ තහනම ඉවත් කිරීමට යි.

පිළිලයක් වූ TLP

TLP සංවිධානය සම්බන්ධ වූ අපරාධ සිද්ධිවල පළමුවැන්න මෙය නොවන අතර පසුගිය කාලය පුරාම ඉස්ලාම් ආගමට අපහාස කළ බව පවසමින් පාකිස්තානය තුළ සිටින අන්‍යාගමිකයන් ඉලක්ක කර සිදු කළ ඝාතන රැසක් වාර්තා වූවා.

අමෙරිකා එක්සත් ජනපදයේ හිටපු පාකිස්තාන තානාපතිවරයාවන හුසේන් හක්කානි මහතා පවසන්නේ මේවන විට ආගමට අපහාස කළ බව පවසමින් සිදුවන ඝාතන සාමාන්‍යකරණය වී ඇති බව යි.

TLP සංවිධානය කොතරම් දරුණු වී ඇත්දැයි යන්න ඊට කදිම සාක්ෂියක් බව ද ඔහු පෙන්වා දෙනවා.

ප්‍රියන්ත කුමාර දියවඩන

ප්‍රියන්ත කුමාර දියවඩන මහතා පාකිස්ථානය වෙත ගොස් ඇත්තේ මීට වසර 11කට පෙරයි.

ඔහු නිෂ්පාදන ඉංජිනේරුවෙකු ලෙස පේරාදෙණිය සරසවියේ 1993 වසර කණ්ඩායමෙන් ඉංජිනේරු විද්‍යාවේදී උපාධි ලද වෘත්තීයවේදියෙකු වනවා.

2010 වසරේදී ඔහු පාකිස්ථාන ක්‍රසන්ට් ටෙක්ස්ටයිල් ඇඟලුම් කර්මාන්තශාලාවේ කාර්මික ඉංජිනේරු කළමනාකරු ලෙස එක් වූ බව යි වාර්තා වන්නේ.

ඔහු රාජ්කෝ ඉන්ඩස්ට්‍රීස් වෙත සම්බන්ධ වී ඇත්තේ 2012 වසරේ දී යි.

ඔහු එහි ප්‍රධාන කළමනාකරු ධූරය හොබවා තිබෙනවා.

ප්‍රියන්ත මහතා ගනේමුල්ල - වැලිපිහිල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

විවාහකයෙකු වන ඔහු දෙදරු පියෙකු බව ද සඳහන්.

ඔහුගේ පුතුන් දෙදෙනා වයස අවුරුදු 14ක් සහ 9ක් වන බව සඳහන්

Rate this item
(0 votes)
Last modified on Wednesday, 08 December 2021 13:47