April 25, 2024

ලක්විජය බලාගාරය යළි අරඹන්න දින දෙකක් ඉල්ලයි

December 03, 2021

නොරොච්චෝලේ විදුලි බලාගාරය යථා තත්ත්වයට පත් කිරීම සඳහා තවත් දින දෙකක පමණ කාලයක් ගතවනු ඇති බව පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා.

කෙසේ වෙතත් එම බලාගාරය හැර අනෙකුත් බලාගාර සියල්ල මේවන විට ක්‍රියාත්මක කර ඇති බවයි ඔහු අනාවරණය කළේ.

අද (03) දහවල් 11.30ට පමණ දිවයිනටම බලපාන පරිදි විදුලි සැපයුම ඇණහිටි අතර විදුලිබල අමාත්‍යංශ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ හටගත් දෝශයක් නිසා මෙම බිඳවැටුම සිදු ව ඇති බවට යි.

මෙම විදුලි ඇණහිටීමෙන් දිවයින පුරා ජනතාව දැඩි අපහසුතාවට පත්වුණු අතර මාර්ග සංඥා අක්‍රීය වීමෙන් නගරාසන්න ප්‍රදේශයන්හි දැඩි රථවාහන තදබදයක් ද වාර්තා වූවා.

සංඥා පද්ධති අක්‍රීය වීම හේතුවෙන් දුම්රිය ගමනාගමනය ද අඩාල වීම සිදු වුණා.

එමෙන්ම අඹතලේ සහ බියගම ජල පවිත්‍රාගාර ද මුලුමනින්ම ඇණහිටීමට ලක් වූයේ විදුලි බලය නොමැති වීම හේතුවෙන්.

මේ අතර දිවයින පුරා විදුලි ග්‍රිඩ් උප-පොළ සියල්ල යළි යථා තත්ත්වයට පත්ව ඇති බව පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා.

ඔහු වැඩිදුරටත් පවසන්නේ ඒ අනුව දිවයිනේ සියළු ප්‍රදේශවල විදුලි සැපයුම යාථාවත් කර ඇති බවයි.

කෙසේ වෙතත් මේවන විටත් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල විදුලි බලය තවමත් යථා තත්ත්වයට පත්ව නොමැති බව ඒෂියන් මිරර් ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කරනවා.

මේ අතර විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී එම්. ආර්. රණතුංග මහතා ප්‍රකාශ කරන්නේ විදුලි සම්ප්‍රේෂණ මාර්ග කිහිපයක සැපයුම යථාවත් කර ඇති බවයි.

අනුරාධපුර - හබරණ සම්ප්‍රේෂණ මාර්ගය, ලක්ෂපාන - අතුරුගිරිය සම්ප්‍රේෂණ මාර්ගය සහ කොත්මලේ - බියගම සම්ප්‍රේෂණ මාර්ගය මෙලෙස යථාවත් කර ඇති බව ඔහු පවසනවා.

එමෙන්ම කොළඹ ප්‍රදේශයේ ඇතැම් ස්ථානවල ද විදුලි බලය යථාවත් කර ඇති බව ඔහු ප්‍රකාශ කළා.

මෙම විදුලි බිඳවැටීම සිතා මතා සිදුකළ කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවට සැක කරන බව විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ විදුලි බිඳවැටුම යථා තත්ත්වයට පත් කිරීම විදුලි ඉංජිනේරුවන් විසින් මේවන විට උවමනාවෙන්ම පමා කරමින් සිටින බව යි.

කෙසේ වෙතත් දිවයිනටම බලපාන පරිදි සිදුවූ විදුලි බිඳවැටීම හමුවේ ලංකා විදුලිබල මණ්ඩල ඉන්ජිනේරු වෘත්තීය සමිතිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

තමන් ගෙන තිබූ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව යි ඔවුන් පවසන්නේ.

වෘත්තීය ක්‍රියාමාර්ගය නවත්වන ලෙස ජනාධිපතිවරයා ද තමන්ගෙන් ඉල්ලා සිටි බවත් එය සලකා බලා මෙය නවැත්වූ බවත් අදාළ වෘත්තීය සමිතිය ප්‍රකාශ කළා.

මේ අතර රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ හිතාමතා විදුලිය විසන්ධි කර ඇති බවට පරීක්ෂණ මගින් අනාවරණය වුවහොත් ඔවුන්ට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගන්නා බව යි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 04 December 2021 11:01