April 19, 2024

ඇමති ජී.එල්. ගෙන් ඉස්ලාමීය තානාපතිවරුන්ට රාත්‍රී භෝජන සංග්‍රහයක්

December 02, 2021

විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා පසුගිය 30 වැනි දා ඉස්ලාමීය රාජ්‍යවල දූත මණ්ඩල ප්‍රධානීන් සඳහා ක්‍රියාකාරී රාත්‍රී භෝජන සංග්‍රහයක් කොළඹ දී පවත්වා තිබෙනවා.

එහි ආරාධිත අමුත්තා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වී තිබෙනවා. 

ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව අතීතයේ මෙන්ම මෑත කාලීන දේශපාලනික හා සමාජීය ජීවිතය තුළ ඉටු කරන ලද ඵලදායී කාර්යභාරය පිළිබඳව අමාත්‍යවරයා ඉස්ලාමීය නියෝජිතයන් සමඟ අදහස් හුවමාරු කර ගත් බව විදේශ අමාත්‍යාංශය සඳහන් කරනවා.

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව සමඟ පවත්වනු ලබන මෙම සාරවත් අන්තර්ක්‍රියා, ජාත්‍යන්තර ප්‍රජාවේ ඉස්ලාමීය රාජ්‍යයන් සමඟ ශ්‍රී ලංකාව භුක්ති විඳින වඩාත් සුහද සබඳතා දක්වා විහිදෙන බව එම අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

සෑම ආගමක, ජන වර්ගයක හෝ ජාතියක සෑම පුද්ගලයෙකුටම කිසිදු භේදයකින් තොරව  තම ආගම, සංස්කෘතිය සහ භාෂාව ප්‍රගුණ කරමින් තම අනන්‍යතාවය ප්‍රකාශ කිරීමේ නිදහස භුක්ති විඳීමට හැකි සමාජයක් ලෙස ශ්‍රී ලංකාව සිය සාරවත් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය තවදුරටත් ආරක්ෂා කරන බව විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාව විසින් අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබන මුස්ලිම් නීතිය, උඩරට නීතිය සහ දමිළ ප්‍රජාවන්ට විශේෂිත වූ පුද්ගලික නීති ඇතුළත් සාරවත් වූත් විවිධ වූත් නීති සම්ප්‍රදාය තුළින් ද මෙය පිළිබිඹු වේ. පසුගිය මෑත වසරවල දී, ලෝකයේ අනෙකුත් ප්‍රදේශවල මෙන්ම, විවිධ ආගම්වල නාමයෙන් අන්තවාදී කණ්ඩායම් මෙම සමාජ සංහිඳියාවට බාධා පැමිණවීමට සහ නවීන සන්නිවේදන තාක්‍ෂණය අනිසි ලෙස භාවිතා කරමින් සහ සමාජ මාධ්‍ය වෙත අනවසර ප්‍රවේශ ඇතුළුව ලෙස ප්‍රවේශ වී ශ්‍රී ලංකාව තුළ ව්‍යාකූලත්වයක් ඇති කිරීමට උත්සාහ කළ බව අමාත්‍යවරයා පැවසුවා.

එවැනි වෛරී සහගත ප්‍රකාශ මැඩලීම සඳහා, දැනට ක්‍රියාත්මක වන ව්‍යවස්ථාදායකමය කටයුතු පිළිබඳව ද අමාත්‍යවරයා ඉස්ලාමීය නියෝජිතයින්ට පැහැදිලි කළා.

ආගමික සහ සංස්කෘතික විවිධත්වය ශ්‍රී ලංකාවට ශක්තියක් වී ඇති බව ප්‍රකාශ කළ දූත පිරිස, අන්තවාදී බලවේග විසින් පතුරුවා හරින ලද අසත්‍ය කරුණු බැහැර කිරීම මෙන්ම මුස්ලිම් ප්‍රජාව සම්බන්ධයෙන් මෑත කාලීනව අනුගමනය කරන ලද අනෙකුත් ප්‍රගතිශීලී පියවර කෙරෙහි සිය විශ්වාසය පළ කළ බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

මෙම ප්‍රයත්න සඳහා ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවත්, ආර්ථිකය යථා තත්ත්වයට ගැනීම සහ එහි ප්‍රගතිය සම්බන්ධයෙන් වන අභියෝග ජයගැනීම සඳහා ලබා දෙන සහයෝගය පිළිබඳව ද ඔවුන් සිය අදහස් ප්‍රකාශ කර තිබෙනවා.

මෙම විවෘත හා සාධනීය සාකච්ඡාවට සහභාගී වීම පිළිබඳව මෙන්ම, ශ්‍රී ලංකාව කෙරෙහි ඔවුන් දක්වන හොඳ හිත වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා නියෝජිත පිරිසට සිය ස්තුතිය පුද කර තිබෙනවා.

ඕමාන් සුල්තාන් රාජ්‍යය, පලස්තීන රාජ්‍යය, සෞදි අරාබි රාජධානිය, ඇෆ්ගනිස්ථාන ඉස්ලාමීය ජනරජය, කටාර් රාජ්‍යය සහ තුර්කි ජනරජය යන රටවල තානාපතිවරුන්, මැලේසියාව, මාලදිවයින් ජනරජය, මහජන බංග්ලාදේශ ජනරජය යන රටවල මහ කොමසාරිස්වරුන්, ඉස්ලාමීය පාකිස්තාන ජනරජයේ වැඩ බලන මහ කොමසාරිස්වරයා, ලිබියානු රාජ්‍යය, ඉජිප්තුවේ අරාබි ජනරජය, කුවේට් රාජ්‍යය, ඉස්ලාමීය ඉරාන රාජ්‍යය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල කාර්ය භාර නිලධාරීන් යනාදී වශයෙන් දූත පිරිසක් මෙම ක්‍රියාකාරී රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා සහභාගී වී තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 03 December 2021 00:16