April 25, 2024

තවත් පුටු පෙරළියක්! රජයේ ප්‍රබලයන් කිහිපදෙනෙක් ඉල්ලා අස්වෙයි

December 02, 2021

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සිය ධුරවලින් ඉල්ලා අස්වි තිබෙනවා.

සිය ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපති කාර්යාලය වෙත අද (02) යවා ඇතැයි වාර්තා වනවා.

සභාපති සංජය මොහොට්ටාල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන හර්ෂ සුබසිංහ, ආචාර්ය හර්ෂ කබ්රාල් සංජය කුලතුංග සහ ජෙයමින් පැල්පොළ යන මහත්වරුන් මෙසේ සිය ධුරවලින් ඉල්ලා අස් වී තිබෙනවා.

මේ අතර ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් පසන් වනිගසේකර මහතා ද ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වෙයි.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ඉතා ඉහළ  වැටුප් තල යටතේ නිලධාරීන් රැසක් බඳවා ගෙන ඇති බවට සහ අමාත්‍ය මණ්ඩලය නොමඟ යවමින් එම බඳවා ගැනීම් කර ඇති බවට ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දී ද පසුගියදා චෝදනා එල්ල විය.

මෙ අතර, ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයට විරෝධය පළ කරමින් එහි සේවකයන් අතිබහුතරයක් ජනාධිපතිවරයාට බාරදිම සඳහා පෙත්සමක්ද අත්සන් කළ අතර, ආයෝජන මණ්ඩලයේ සේවකයන් 1100ක පමණ පිරිසෙන් අටසිය පනස් දෙනකු පමණ අද වන විට ඊට අත්සන් තබා ඇතැයිද වාර්තා වෙනවා.

අදාළ ඉල්ලා අස්වීම් පිළිබඳව දැනුම්දෙමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය පහතින්.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් කිහිප දෙනෙකු සිය තනතුරුවලින් ඉල්ලා අස්වී ඇති බව දන්වා සිටිමු.

සභාපතිතුමා, අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සිය තනතුරු වල වැඩ භාර ගන්න ලද්දේ, අප රට තුල ශක්තිමත් ආයෝජන වාතාවරණයක් ඇති කරමින්, මෙම දශකය තුළ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය දෙගුණ කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමාගේ දැක්මට සහාය දැක්වීමේ ඒකීය චේතනාවෙනි.

මීට අදාළ උපායමාර්ගික න්‍යාය පත්‍රය සාක්ෂාත් කර ගැනීම සඳහා, ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වන ජාත්‍යන්තර ප්‍රවර්ධන ආයතන 1,000 කට අධික සංඛ්‍යාවක් අභිබවා තරඟ කිරීමට ආයෝජන මණ්ඩලයට පසුබිම සකසා ගැනීමට අභ්‍යන්තරව බොහෝ වෙනස්කම් අවශ්‍ය බව කැබිනට් මණ්ඩලය සහ ආයෝජන මණ්ඩලයේ නායකත්වය හඳුනා ගත්හ. 

තවද, මෙම කර්තව්‍යය හුදෙකලාව සාක්ෂාත් කරගත නොහැකි බවත්, රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ආකෘතියක් හරහා සහයෝගී උත්සාහයන් අත්‍යවශ්‍ය බවත්, නව නිපුණතා එකතුවක් මෙන්ම විශේෂඥ වෘත්තීය සේවා හරහා රටේ නව සංවර්ධන දිශානතිය උත්තේජනය කිරීම සඳහා අවශ්‍ය ආයෝජන සංචිත වෙත නව ප්‍රවේශයන් ඇතිකර ගැනීම අත්‍යවශ්‍ය බවත් අවබෝධ කරගෙන තිබිණ.

අවාසනාවකට මෙන්, මෙම අවශ්‍ය පරිවර්තනය සාක්ෂාත් කර ගැනීම සඳහා මෙම නිලධාරීන් දැරු උත්සාහය, ආයෝජන මණ්ඩලය තුළ සහ ඉන් පිටත, තම ආත්ම අභිලාෂය ගැන පමණක් සලකා ක්‍රියා කරන කණ්ඩායම් වල දැඩි සහ අඛණ්ඩව ප්‍රතිරෝධය ලක් වුනි. 

රටට අවශ්‍ය පරිමාණයෙන් සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට නම්, ජාත්‍යන්තර වේදිකාවේ තරඟ කිරීමට අවශ්‍ය සාධකද, එහි යථාර්ථයන් ද අවබෝධ කර ගැනීමට එම කන්ඩායම් අසමත් අතර, ඊට අවශ්‍ය ක්‍රියාවලි ද ප්‍රතික්ෂේප කළහ.

වර්තමාන නායකත්වයට පෙර, 2017 සහ 2019 අතර කාල වකවානු තුලදී, සිදුවූ සහ, මණ්ඩලයට පරිබාහිරව ගැනුණු තීන්දු තීරණ අදාළ කරගනිමින්, ආයෝජන මණ්ඩලය පිළිබඳව ප්‍රචාරය වූ බොහෝ වැරදි මතයන් ආයෝජන මණ්ඩලයේ කීර්ති නාමයට මෙන්ම එහි වර්තමාන නායකත්වයේ කීර්ති නාමයට ද, පිළිසකර කළ නොහැකි හානියක් සිදුවී ඇත.

මෙම අවාසනාවන්ත සිදුවීම් හේතු කොටගෙන, ආයෝජන මණ්ඩලයේ නායකත්වය ඔවුන් විසින් හඳුන්වාදුන් ප්‍රතිසංස්කරණ වැඩසටහන් ඉදිරියට ක්‍රියාත්මක කිරීමට යෙදුනේ නම්, එය ශ්‍රී ලංකාවේ ආර්ථික අනාගතයට රුකුලක් වන බව ඔවුන්ගේ දැඩි විශ්වාසයයි. ශ්‍රී ලංකාවේ සහ එහි සියලුම පුරවැසියන්ගේ යහපත සඳහා සියලු පාර්ශ්වකරුවන් සාමූහිකව කටයුතු කරනු ඇතැයි ඔවුහු බලාපොරොත්තු වෙති.

Rate this item
(0 votes)