March 29, 2024

ගෑස්වලට මුසු කරන රසායනිකයක් ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්

December 02, 2021

ආහාර පිසීම සඳහා යොදා ගන්නා ගෘහස්ත ගෑස් සිලින්ඩර් තුළට මුසු කරන “මර්කැප්ටන්” (Mercaptan) රසායනිකය පිළිබඳව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ආන්දෝලනාත්මක අදහස් කිහිපයක් පළ කළා.

ඔහු මෙම කරුණු පවසා සිටියේ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා සභාව සංවිධානය කළ උත්සවයක් අමතමින්.

ගම්මන්පිල මහතා සැක පළ කරන්නේ මේවන විට ගෘහස්ත ගෑස්වලට ගෑස් පිරවීමේ දී මර්කැප්ටන් රසායනිකය ප්‍රමාණවත් පරිදි මුසු කිරීම සිදු නොකර ඇති බවට යි.

එම රසායනිකය ගෑස් සිලින්ඩර තුළට කිසිසේත්ම අඩංගු නොකරන්නේ ද යන්න ද ඔහු ප්‍රශ්ණ කරනවා.

මර්කැප්ටන්

ආවෘත ස්ථානයක ගෑස් කාන්දුවක් සිදුවූ පසු එය නොදැන ගිනි දැල්වීමක් සිදු කළහොත් එම ස්ථානය ක්ෂණික ගිනිගැනීමකට ලක් වීම හෝ පුපුරා යාම සිදු විය හැකියි.

එබැවින් ගෑස් කාන්දුවක් යනු ඉතා භයානක සංසිද්ධියක් වනවා.

කෙසේ වෙතත් ආහාර පිසීමට යොදාගන්නා ද්‍රව පෙට්‍රෝලියම් වායුවෙහි කිසිදු ගන්දයක් හෝ වර්ණයක් අඩංගු වන්නේ නැහැ.

එවන් තත්ත්වයක් තුළ ගෑස් කාන්දුවක් සිදුවුවහොත් එය හඳුණාගැනීම බෙහෙවින් අපහසුවනවා.

මෙම ගැටළුව මගහරවා ගැනීම සඳහා ගෑස් සමාගම් විසින් ආරක්ෂිත පියවරක් ලෙසට අදාළ සිලින්ඩර තුළට මර්කැප්ටන් රසායනිකය මුසු කරනු ලබනවා.

ගෘහස්ත ගෑස් සිලින්ඩරයකින් ගෑස් කාන්දුවක් සිදුවන විට අපගේ නාසයට දැනෙන “ගෑස් ගඳ” යනු එම මර්කැප්ටන් රසායනිකයේ ගන්දය යි.

මේ ආකාරයෙන් ගන්දයක් සහිත රසායනිකයක් මුසු කිරීම මගින් ගෑස් කාන්දුවක් හඳුණාගැනීම පහසු වනවා.

නීති නෑ

කෙසේ වෙතත් සිලින්ඩර තුළට මර්කැප්ටන් දැමිය යුතුය යන්න හෝ ප්‍රොපේන්/බියුටේන් සංයුතීන් පිළිබඳව හෝ ගෘහස්ත ගෑස් සම්බන්ධ බොහෝ අංගවල හෝ කිසිදු නියාමනයක් ශ්‍රී ලංකාවේ නීති තුළ නොමැති බව ද ඔහු පෙන්වා දෙනවා.

මෙම තත්ත්වය හමුවේ මෙරට පාරිභෝගිකයින් බියෙන් පෙලෙන බව ද ඔහු පැවසුවා.

“මෙතෙක් කල් අපි බයෙන් හිටියේ අපිට හොරෙන් අනුන් ඇවිල්ලා තියන බෝම්බෙකට. දැන් ගෙදර තියෙන ගෑස් සිලින්ඩරේ සියදිවි හානිකරගන්න සල්ලි දීලා ගෙදර අරන් ගිය බෝම්බයක් බවට පත් වෙලා තියෙනවා”

මේ සම්බන්ධව මහජන උපයෝගීතා කොමිසම කඩිනම් පියවර ගනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද උදය ගම්මන්පිල මහතා පවසා සිටියා.

මෙරට රසායනාගාර

මේ අතර ද්‍රව පෙට්‍රෝලියම් වායූන් පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා පිළිගත් රසායනාගාර මෙරට තුළ නොමැති බව ද අමාත්‍ය ගම්මන්පිල අනාවරණය කරනවා.

ගෑස් පරීක්ෂා කිරීම සඳහා රසායනාගාර දෙකක් පවතින බවත්, ඉන් එකක් ලාෆ් සමාගම සතු බවත්, අනෙක ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු බවත් ඔහු ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් එම ආයතන විසින් මෙම රසායනාගාර සකසාගෙන ඇත්තේ සිය අභ්‍යන්තර කටයුතු සඳහා පමණක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මෙම රසායනාගාර පිළිගත් රසායනාගාර බවට පත් කරගැනීම සඳහා අවශ්‍යතාවක් හෝ මීට පෙර මතු නොවූ බව ද උදය ගම්මන්පිල මහතා සඳහන් කර සිටියා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 02 December 2021 10:46