April 24, 2024

නව කැළණි පාලමෙන් පසු මාර්ග සැලැස්මේ වෙනසක්

December 01, 2021

පසුගිය දා විවෘත කෙරුණු නව කැලණි පාලම ආශ්‍රිත මාර්ග සඳහා විධිමත් රථවාහන මාර්ග සැලැස්මක් හඳුන්වා දී තිබෙනවා.

මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල්.වී.එස් වීරකෝන් මහතා කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ රියදුරන්ට මාර්ග හඳුනා ගැනීමට නොහැකි වීමෙන් ඇතිවන අපහසුතාවය සහ ඒ සමග ඇතිවන වාහන තදබදය අවම කර ගැනීම සඳහා මෙම මාර්ග සැලැස්ම හඳුන්වා දෙන බවයි.

නව කැලණි පාලම හරහා ගමන් කිරීමට අවසර හිමි වන්නේ අධිවේගී මාර්ගවල ගමන් කිරීමට අවසර ඇති වාහන සඳහා පමණයි.

එමෙන්ම මෙහි වරාය පිවිසුම් මාර්ගයේ ඉඳිකිරීම් කටයුතු තවදුරටත් සිදු කිරීම හේතුවෙන් දැනට එම මාර්ගය හරහා ගමන් කිරීමට අවසර ලබා දී ඇත්තේ කොළඹ වරායට ඇතුලු වීමට බලපත්‍ර හිමි වාහන සඳහා පමණයි.

කොලඹ දෙසට පැමිණෙන සෙසු වාහන වරාය පිවිසුම් මාර්ගයට ඇතුලු නොවී සිරිමාවෝ බණ්ඩාරනායක මාවතෙන් ගොස් වමට හෝ දකුණට හැරවිය යුතු වනවා.

එමෙන්ම වරායේ සිට පැමිණෙන කන්ටේනර් රථවලට නව කැලණි පාලම හරහා ගමන් කිරීමට අවසර හිමිවන්නේ නැහැ.

එම කන්ටේනර් රථ ඇතුලු නව කැළණි පාලමේ ගමන් කිරීමට අවසර නොමැති සෙසු සියලු වාහනවලට පාලමට පහලින් පිහිටි බේස්ලයින් මාර්ගය ඔස්සේ පැමිණ, පාලමට පිටතින් පිහිටි මංතීරුව ඔස්සේ ගමන් කල හැකියි.

එමෙන්ම අධි තාක්ෂණික කේබල් මත ඉදිකළ මෙරට ප්‍රථම ගුවන් පාලම වන කල්‍යාණි රන් පිවිසුම අවට මතුව ඇති මාර්ග තදබදය තවත් සති දෙකකින් පමණ අවසන් වනු ඇති බව මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර් පේමසිරි මහතා එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා.

Rate this item
(1 Vote)