April 19, 2024

අද කාලගුණය : පළාත් කිහිපයක තැනින් තැන වැසි

December 01, 2021

සබරගමුව, මධ්‍යම, බස්නාහිර, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (01) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනවා.

මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ නිවේදනයේ දැක්වෙනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ද ඉල්ලා සිටිනවා.

මේ අතර ගිනිකොණ දිග බෙංගාල බොක්ක සහ උතුරු, දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශවල හෙට (02) පස්වරු 4.00 දක්වා ධීවර හා නාවුක කටයුතුවල යෙදීමෙන් වළකින ලෙස  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

එම මුහුදු ප්‍රදේශවල දැනට ධීවර හා නාවික කටයුතුවල යෙදෙන්නන් ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයකට පැමිණිය යුතු බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

දකුණු තායිලන්ත මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩුපීඩන කලාපයක් නිර්මාණය වී ඇති අතර එය හෙට දිනයේදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මෙම පීඩන අවපාතය ගිණිකොණ සහ මධ්‍යම නැගෙනහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථානගත විය හැකි බැවින් මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි වෙයි.

මෙම අඩුපීඩන කලාපය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් ලබන 4 වැනිදා වනවිට ඉන්දියාවේ උතුරු ආන්ද්‍රා ප්‍රදේශ වෙරළ දෙසට ඇතුළු වනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

Rate this item
(0 votes)