April 24, 2024

පොල්ගස්ඕවිට නිවසක ගෑස් කාන්දුවක්

November 29, 2021

පොල්ගස්ඕවිට ප්‍රදේශයේ නිවසක සිදුව ඇති ගෑස් කාන්දුවක් පිළිබඳ තොරතුරු වාර්තා වෙනවා.

මෙය සිදුව ඇත්තේ පොල්ගස්ඕවිට, සියඹලාගොඩ, රණවිරු ප්‍රේමසිරි මාවතෙහි පිහිටි නිවසක යි.

අදාළ නිවසේ හිමිකරු ඊයේ (28) දින ගෑස් සිලින්ඩරයක් මිලට ගෙන ඇති අතර එය නිවසට ගෙන ඒමෙන් අනතුරුව නිරීක්ෂණය වී ඇත්තේ එයින් ගෑස් කාන්දුවන බව යි.

සිද්ධිය සම්බන්ධයෙන් නිවෙස් හිමිකරු මෙලෙස අදහස් පළ කළා.

"උඩ ඉටි කොළේ ගැලෙව්වා විතරයි සූ ගාලා සද්දයක් එන්න ගත්තා. ඊට පස්සේ රෙග්‍යුලේටරේ ගැහුවත් සද්දෙ දිගටම ආවා. ගඳත් හොඳටම එන්න ගත්තු නිසා සබන් පෙණ ටිකක් දාලා බැලුවා කට මුළට පෙණ එවනද කියලා"

සබන් පෙණ ද්‍රාවණයක් යොදා සිදු කළ පරීක්ෂාවේ දී අදාළ සිළින්ඩරයෙන් ගෑස් කාන්දුවක්වන බව තහවුරු කර ගත් පසු නිවෙස් හිමියා අදාළ සිලින්ඩරය ගෙවත්තේ පාළු ස්ථානයක තබා තිබෙනවා.

නිවෙස් හිමියා වැඩිදුරටත් මෙලෙස ප්‍රකාශ කළා.

"ඊට පස්සේ පොලීසියටත් කතා කරලා ඇහුවා මොකද කරන්නේ කියලා. ඒගොල්ලෝ කිව්වා පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට කතා කරන්න කියලා. ඒකටත් මම කතා කරලා පණිවිඩයක් තිබ්බා"

මෙම සිදුවීමට අමතරව ඊයේ (28) දින ගෘහස්ථ ගෑස් සිලින්ඩර සම්බන්ධ තවත් අනතුරු දෙකක් වාර්තා වූවා.

ඉන් පළමුවැන්න වාර්තා වූයේ කෑගල්ල, කහටපිටිය ප්‍රදේශයෙන්.

එම ප්‍රදේශයේ නිවසක මුළුතැන්ගෙයි වූ ගෑස් ලිපක් මෙලෙස පුපුරා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (28) උදෑසන අදාළ නිවසෙහි හිමිකරු ගෑස් ලිප දල්වා ඇත්තේ තේ පානය සඳහා අවශ්‍ය ජලය උණු කිරීමට සඳහා යි.

ලිප දල්වා ජලය රත් වීමට ඉඩ හැර තමා නාන කාමරයට ගිය බව නිවෙස් හිමියා පවසනවා.

ඔහු වැඩිදුරටත් පවසන්නේ මඳ වේලාවකට පෙර විශාල පිපිරුම් හඬක් ඇසුණු බව යි.

තමන් යළි මුළුතැන්ගෙය වෙත පැමිණි පසු ගෑස් ලිප පුපුරා ගොස් ඇති ආකාරය දුටු බවත්, එහි කැබලි මුළුතැන්ගෙය පුරා විසිරී තිබූ බවත් ඔහු පවසනවා.

කෙසේ වෙතත් මෙම පිපිරීමෙන් ගෑස් සිලින්ඩරයට හානි සිදු වී නොමැති බව යි වැඩිදුරටත් වාර්තා වන්නේ.

ඊයේ වාර්තා වූ දෙවැනි ගෑස් අනතුර සිදුව ඇත්තේ ආරච්චිකට්ටුව ප්‍රදේශයේ නිවසක යි.

ඊයේ පස්වරු 2.00ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර එහි දී ගෑස් සිලින්ඩරය ආශ්‍රිත ගිනි ගැනීමක් සිදුව ඇති බව වාර්තා වූවා.

කඩිනමින් අදාළ නිවසට පැමිණි ප්‍රදේශවාසීන් ගින්න නිවා දැමීමට කටයුතු කර ඇති අතර  සිද්ධියෙන් කිසිවෙකුට හෝ හානි සිදු වී නැහැ.

ගින්න හටගත් නිවසේ කාන්තාවක් සිද්ධිය පිළිබඳ එම අවස්ථාවේ දී මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.

“දැන් පැයකට විතර කලින් අපි ගෑස් එකක් අරන් ආවා ආරච්චිකට්ටුව ෂෙඩ් එකෙන්. ගෙනල්ලා ගෑස් එක හයි කළා. හයිකරලා ඉවර වෙලා ගෑස් එක දානකොට ගෑස් එක ගිනි ගත්තා. තාත්තා ගෑස් එක අරගෙන එළියට විසි කළා. තාමත් එළියේ ගෑස් එක ගිනි ගන්නවා. ගෑස් එක පුපුරයිද කියලා කියන්න බෑ අපිට තාම”

කියවන්න:

Rate this item
(0 votes)
Last modified on Monday, 29 November 2021 14:15