March 28, 2024

දිනයේ දෙවැනි ගෑස් අනතුරත් වාර්තා වෙයි

November 28, 2021

ආරච්චිකට්ටුව ප්‍රදේශයේ නිවසක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් නිසා අනතුරක් සිදුව තිබෙනවා.

මෙය අද (28) දිනයේ වාර්තා වූ දෙවැනි ගෑස් අනතුර වීම විශේෂත්වයක්.

පස්වරු 2.00ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර එහි දී ගෑස් සිලින්ඩරය ආශ්‍රිත ගිනි ගැනීමක් සිදුව ඇති බව වාර්තා වූවා.

කඩිනමින් අදාළ නිවසට පැමිණි ප්‍රදේශවාසීන් ගින්න නිවා දැමීමට කටයුතු කර ඇති අතර  සිද්ධියෙන් කිසිවෙකුට හෝ හානි සිදු වී නැහැ.

ගින්න හටගත් නිවසේ කාන්තාවක් සිද්ධිය පිළිබඳ එම අවස්ථාවේ දී මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.

“දැන් පැයකට විතර කලින් අපි ගෑස් එකක් අරන් ආවා ආරච්චිකට්ටුව ෂෙඩ් එකෙන්. ගෙනල්ලා ගෑස් එක හයි කළා. හයිකරලා ඉවර වෙලා ගෑස් එක දානකොට ගෑස් එක ගිනි ගත්තා. තාත්තා ගෑස් එක අරගෙන එළියට විසි කළා. තාමත් එළියේ ගෑස් එක ගිනි ගන්නවා. ගෑස් එක පුපුරයිද කියලා කියන්න බෑ අපිට තාම”

ගෑස් සිලින්ඩරයක් සම්බන්ධ පිපිරීමක් අද (28) දින උදෑසන ද වාර්තා වූවා.

එම සිදුවීම වාර්තා වූයේ කෑගල්ල, කහටපිටිය ප්‍රදේශයෙන්.

එම ප්‍රදේශයේ නිවසක මුළුතැන්ගෙයි වූ ගෑස් ලිපක් මෙලෙස පුපුරා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අද (28) උදෑසන අදාළ නිවසෙහි හිමිකරු ගෑස් ලිප දල්වා ඇත්තේ තේ පානය සඳහා අවශ්‍ය ජලය උණු කිරීමට සඳහා යි.

ලිප දල්වා ජලය රත් වීමට ඉඩ හැර තමා නාන කාමරයට ගිය බව නිවෙස් හිමියා පවසනවා.

ඔහු වැඩිදුරටත් පවසන්නේ මඳ වේලාවකට පෙර විශාල පිපිරුම් හඬක් ඇසුණු බව යි.

තමන් යළි මුළුතැන්ගෙය වෙත පැමිණි පසු ගෑස් ලිප පුපුරා ගොස් ඇති ආකාරය දුටු බවත්, එහි කැබලි මුළුතැන්ගෙය පුරා විසිරී තිබූ බවත් ඔහු පවසනවා.

කෙසේ වෙතත් මෙම පිපිරීමෙන් ගෑස් සිලින්ඩරයට හානි සිදු වී නොමැති බව යි වැඩිදුරටත් වාර්තා වන්නේ.

ගෘහස්ත ගෑස් සිලින්ඩර් සහ ලිප් ආශ්‍රිත අනතුරු පිළිබඳව පසුගිය දින කිහිපය පුරා වාර්තා වීමත් සමග ගෑස් භාවිතය සහ ගෑස් සිලින්ඩර්, ලිප් ආදියේ ප්‍රමිතිය පිළිබඳව මෙරට තුළ ආන්දෝලනාත්මක කතාබහක් හටගෙන තිබෙනවා.

එවන් පසුබිමක යි මෙලෙස අද දිනයේ දී ගෑස් අනතුරු දෙකක් වාර්තා වූයේ.

කියවන්න:

Rate this item
(5 votes)
Last modified on Monday, 29 November 2021 08:12